Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සභාපති කුසලාන පාපන්දු තරගාවලිය 26 දා සිට

සභාපති කුසලාන පාපන්දු තරගාවලිය 26 දා සිට

නාමල් පතිරගේ - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුපියල් මිලියන 30 ක් පමණ වැය කරමින් ‘සභාපති’ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලිය මෙම 26 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ද මෙහි තරග පැවැත්වෙන අතර විශාලතම වියදමක් දැරීම හැරෙන්නට මෙම පාපන්දු තරගාවලියේ අනෙක් විශේෂත්වය වන්නේ එය මසකටත් අඩු කෙටි කාලයකින් පවත්වා අවසන් කිරීමයි.

පාපන්දු තරගාවලියකදී ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රදානය කෙරෙන වැඩිම ත්‍යාග මුදලක් එහිදී සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සේවය බාරගත් පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ අදහසකට අනුව කුසලතා පූර්ණ දේශීය පාපන්දු ක්‍රීඩකයන් හඳුනාගනිමින් ඔවුන් ජාතික පාපන්දු සංචිතයට කැඳවීම නව තරගාවලියේ ප්‍රධාන අරමුණ වේ.

ඇලජික් මහතා මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි. අවසන් වරට පැවැති (ප්‍රිමියර්) ප්‍රධානතම අන්තර් සමාජ පාපන්දු ශූරතා තරගාවලියේ කණ්ඩායම් 18 ක් සඳහා මෙම තරගාවලියට ආරාධනා කළත් මීගමුව යූත්, කුරුණෑගල පෙලිකන්ස් හා අනුරාධපුරය සොලිඩ් යන කණ්ඩායම් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වීමෙන් ඔවුන් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව ප්‍රධානතම තරගාවලියේ කණ්ඩායම් හැරෙන්නට අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ (2019) අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතරද නව තරගාවලියට ඇතුළත් කර තිබේ.

තරගාවලියේ පළමු වටය කාණ්ඩ පහකින් පැවැත්වෙන අතර අවසන් වටය සඳහා එම කාණ්ඩ පහේ ශූරයන් (වැඩිම ප්‍රසාද ලකුණුලාභීන්) හැරෙන්නට හොඳම දක්ෂතා අතර සිටින පරාජිත කණ්ඩායම් තුනක් ද තෝරාගැනේ.

අවසන් වටයේ සිට තරග පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය යටතේය. ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය සඳහා තරග 30 ක් ඇතුළත්වේ. මෙම තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ක්‍රීඩා සමාජවලට සිය නිර්දේශිත කණ්ඩායම සඳහා නවක හෝ පිටස්තර ක්‍රීඩකයන් ද ඇතුළත් කර ගැනීමට ලැබෙන අවස්ථාවයි.

පාපන්දු සම්මේලනය මෙහෙයවන වෙනත් ක්‍රීඩා සමාජ තරගාවලි සඳහා එම ක්‍රමවේදය වූයේ කලින් අනුමත කරගත් ක්‍රීඩකයන්ගේ ලේඛනයක් තුළින් පමණක් කණ්ඩායම නිර්දේශ කිරීමට ලැබෙන අවස්ථාවයි.

මෙම තරගාවලියේ මූලික වටයට තරග වදින සෑම කණ්ඩායමක් සඳහාම රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වියදම් කිරීම සඳහා පාපන්දු සම්මේලනය ලබාදේ. අනතුරුව අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් සඳහා තවත් අමතර වියදම් මුදලක් බැගින්ද ලබාදීමට කටයුතු යොදා තිබේ.

සභාපති කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලිය සඳහා තරග තහනමෙන් පසුව පළමු වතාවට බේරුවල ‘සුපර්සන්’ ක්‍රීඩා සමාජය එක්ව සිටියි. අවසන් වරට පැවැති ශූරයන්ගේ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ (2018-19) ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය (18) අත්කරගත් ‘සුපර්සන්’ ක්‍රීඩා සමාජය කළුතරදී සත්කාරය දැරූ තරගයකදී විනිසුරුවන්ට පහරදීමේ සිදුවීමක් මත එතැන් සිට තරගාවලියෙන් ඉවත් කර තිබිණ.

මේ අතර සභාපති කුසලාන තරගාවලිය සඳහා වයස 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරගැනීමට දැරූ උත්සාහයක් ඊට සහභාගි වන සෙසු කණ්ඩායම්වල ඉල්ලීමක් මත අත්හැර දැමීමට ද පාපන්දු සම්මේලනයට සිදුවිය.

මේ වනවිට ක්‍රීඩකයන් 18 දෙනෙකුට සීමා කරමින් ආරම්භ කර ඇති ජාතික පාපන්දු සංචිතය සඳහා මෙම තරගාවලියෙන් පසුව තවත් ක්‍රීඩකයන් පිරිසක් ආදේශ කර ගැනීමට පාපන්දු සම්මේලනය සූදානමින් සිටියි.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ මෙම තරගාවලිය නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමට මේ වනවිට පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙන බවයි. එසේ වුවත් තරගාවලිය ආරම්භ වන ජූලි 26 වැනිදා වනවිට රට තුළ සෞඛ්‍ය නිරෝධායන තත්ත්වයන්හි වෙනසක් වන්නේ නම් තරගාවලිය නරඹන්නන්ට විවෘත කිරීම ගැන අවධානය යොමු කිරීමට පාපන්දු සම්මේලනය සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

සභාපති කුසලාන තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට තවම තීරණයක් ගෙන නැත.


සභාපති කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියට තෝරාගන්නා ලද ක්‍රීඩා සමාජ
යුද හමුදාව, කොළඹ ක්‍රි.ස, කළුතර බ්ලූස්ටාර්ස්, නාවික හමුදාව, රිනවුන්, රත්නම්, නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස්, ගුවන් හමුදාව, බේරුවල රෙඩ්ස්ටාර්ස්, වෙන්නප්පුව නිව්යංග්ස්, මාතර සිටි, ජාවාලේන්, සෝන්ඩර්ස්, පොලිස්, මාවනැල්ල සෙරන්ඩිබ්, ගම්පොල ක්‍රිස්ටල් පැලැස්, බේරුවල සුපර්සන්, කොළඹ නිව්ස්ටාර්, ගමනාගමන මණ්ඩල සහ මොරගස්මුල්ල ක්‍රි.ස.


අදහස් (0)

සභාපති කුසලාන පාපන්දු තරගාවලිය 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.