Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආසියානු යොවුන් තරගාවලියට යයි

ආසියානු යොවුන් තරගාවලියට යයි

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (නාමල් පතිරගේ)

ජපානයේ ‘කෂීමා’ නුවරදී මෙම 29 වැනිදා ආරම්භ වන 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මේ වනවිට බණ්ඩාරගම ගෘහස්ථ පිටියේදී පුහුණුවීම්වල නිරතව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (12) වැනිදා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමඟ පුහුණු තරගයකට සහභාගීවීමට සූදානම්ව සිටියේය. 

වයස 21 න් පහළ ක්‍රීඩිකාවන් තරග වදින 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ලබන ජූනි 29 වැනිදා සිට ජුලි 7 වැනිදා දක්වා කෂීමා නගරයේදී පැවැත්වෙන්නේ සත්කාරක ජපානය ද ඇතුළුව රටවල් 11 ක සහභාගිත්වයෙනි. ජපානය පළමු වතාවට ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියක සත්කාරය දැරීමට ඉදිරිපත්ව සිටී. 

ඒ කාණ්ඩයෙන් මූලික වටය සඳහා සහභාගීවන ශ්‍රී ලංකාවට එහිදී ප්‍රතිවාදීන් ලෙස තායිලන්තය, සිංගප්පූරුව, නේපාලය හා කොරියාව මුණගැසීමට නියමිතය. ප්‍රතිවාදීන් දෙස බැලීමේදී ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් තිබේ. 
කොළඹ විශාඛා විදුහලේ සිසුවියෝ දෙදෙනෙක් ජාතික යොවුන් කණ්ඩායමේ නායිකාව හා උප නායිකාව ලෙස තේරී සිටිති. එම ක්‍රීඩිකාවන් දෙදෙනාම මීටපෙර ලෝක ශූරතා කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගී වෙමින් අත්දැකීම් ලබා ගත්තෝ වෙති. 
කොළඹ කාන්තා, දෙහිවල ප්‍රෙස්බෙටේරියන්, කළුතර බාලිකා, කුරුණෑගල ශුද්ධවූ පවුලේ බාලිකා, මහනුවර හිල්වුඞ්, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර යන පාසල්හි ක්‍රීඩිකාවෝද මෙම කණ්ඩායමට ඇතුළත් වෙති. 

ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ලෙස වසර 2016 ආසියානු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ වජිරා පුෂ්පකුමාරි මහත්මිය පත්කරනු ලැබ ඇත. කණ්ඩායමේ පුහුණුකරිණිය ලෙස තමරා දමයන්ති කුමාරි කටයුතු කරන්නීය. 
මෙම තරගාවලියේ  විනිශ්චය සඳහා බුද්ධික සූරියබණ්ඩාර මහතා හා අනුෂ්කා තලගලආරච්චි මහත්මිය තෝරාගනු ලැබ සිටිති. 

1994 දී ආරම්භ වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව 1998 - 2002 හා 2015 දී ශූරතාව දිනා තිබේ. වසර 2004 සිට පිට පිටම තරගාවලි පහකදී අනුශූරතාව ලබා තිබේ. අවසන්වරට පැවති 2017 දකුණු කොරියාවේ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. ඒ අවසන් පූර්ව වටයේදි මලයාසියාවට පරාජය වීමෙනි.    

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායමට-

තරුෂි දුලංගි ඉලංගරත්න (නායිකා), මෙලන් අමා විජේසිංහ (උප නායිකා), ශාක්‍යා නෙතලි සේනානායක කාවින්දි රන්දිමා පෙරේරා, ඩිලානි නිමල්කා පෙරේරා, තිළිණි දිමිත්‍රි ගුණියන්ගොඩ, ඉමාෂා සංකල්පනී පෙරේරා, අනිෂා දුල්ෂානි පෙරේරා, දෙව්නා රන්දිනි සිල්වා, උත්පලා සචිනි රත්නායක, විජමිතා නුවන්දි රත්නායක, කුෂලිතා කාවින්දයා අඹවිහාරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින ආකාරය 
ජුනි 29 - දකුණු කොරියාවට එරෙහිව 
ජුනි 30 - නේපාලයට එරෙහිව 
ජූලි 3 - තායිලන්තයට එරෙහිව
ජූලි 6 - අවසන් පූර්ව තරග 
ජූලි 7 - අවසන් මහ තරගය.

 


අදහස් (0)

ආසියානු යොවුන් තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.