Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football එෆ්. ඒ. කුසලාන අවසන් වටය කල්යයි

එෆ්. ඒ. කුසලාන අවසන් වටය කල්යයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32ක් සහභාගි වන අවසන් වටයේ තරග ආරම්භ කිරීමට වර්ෂාව හා ජනාධිපතිවරණය හරස්වී ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

එහි තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා ‘ලංකාදීප’ය හා කළ විමසුමකදී පැවැසුවේ නොවැම්බර් 16 දාට යෙදී තිබෙන ජනාධිපතිවරණය හේතුවෙන් ක්‍රීඩාංගණය වෙන්කරවා ගැනීම මේ දිනවල දුෂ්කරවී තිබෙන බවයි.

කණ්ඩායම් 64ක් එෆ්.ඒ. කුසලාන පාපන්දු දෙවැනි වටය සඳහා සහභාගීවේ.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා මේ දිනවල දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගන රැසක් දේශපාලන රැස්වීම සඳහා වෙන්කරවා ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා පාපන්දු නිවසේදී කණ්ඩායම් 64ක් අතර පැවැත්වෙන දෙවැනි  (දිස්ත්‍රික්) වටයේ තරග කාලසටහන එළි දැක්වුණි. එහෙත් එහි තරග රැසක් මේ වනවිටත් පවත්වා අවසන් කිරීමට නොහැකිවී තිබේ. කෙසේ වුවත් ලබන සෙනසුරාදා, ඉරිදා හා ඉල් පෝය යෙදෙන අඟහරුවාදා  (9, 10, 12) දෙවැනි වටයේ තරග 10කට ආසන්න ගණනන් යොදාගත් පරිදි පැවැත්වීමට තරග කමිටුව උනන්දුවී සිටින බව සිංහවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේ වුවත් කණ්ඩායම් 32 ගැටෙන අවසන් වටයේ තරග ආරම්භය ඉහත හේතූන් මත ජනාධිපතිවරණය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසයි.

දිවයිනේ පාපන්දු ලීග 63ක කණ්ඩායම් 827ක සහභාගිත්වයෙන් පසුගිය මාර්තු මාසයේදී  තරගාවලිය (2019) ආරම්භ විය. එය මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර පවත්වා අවසන් කිරීමට කලින් සැලසුම් කර තිබුණි. යුද හමුදා කණ්ඩායම 2018 අවසන් මහ තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින් මේ වනවිට වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන හිමිකරුවා බවට පත්ව සිටියි.

එබොනි හෝල්ඩින්ස් (වැන්ටේජ් නිෂ්පාදන) ආයතනය එෆ්.ඒ. කුසලාන තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ දෙවැනි වසරටය. තරග කමිටුවේ සභාපතිවරයා තවදුරටත් පැවසුවේ පසුගිය දිනවල පැවැති වර්ෂා කාලගුණය හේතුවෙන් දිවයින පුරා සංවිධානය කර තිබූ එෆ්.ඒ. කුසලාන තරග කීපයක්ම අත්හිටුවීමට සිදුවූ බවයි.

ඒ අතර අවිස්සාවේල්ලේදී පැවැත්වෙමින් තිබූ මාවනැල්ල සෙරන්ඩිබ් පිල හා අවිස්සාවේල්ල ‘සීතාවක’ පිල අතර තරගය වර්ෂාව ඇදහැලීමෙන් පළමු භාගයේදීම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ වනවිට සෙරන්ඩිබ් ක්‍රීඩකයෝ ගෝල 8-0 කින් තරගයේ පෙරමුණ ගෙන සිටියහ.

 


අදහස් (0)

එෆ්. ඒ. කුසලාන අවසන් වටය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.