Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සංචිතයේ පුහුණුවීම් 22 වැනිදා ඇරඹෙයි

පාපන්දු සංචිතයේ පුහුණුවීම් 22 වැනිදා ඇරඹෙයි

නාමල් පතිරගේ - 2020 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පාපන්දු සංචිතය, ක්‍රීඩකයන් 18 දෙනෙකුට සීමා කරමින් ලබන ජුනි 22 වැනිදා සිට නැවැත ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා පවසයි. කොරෝනා වසන්ගත තත්ත්වය හමුවේ රට තුළ උද්ගතවූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාපන්දු සම්මේලනය තීරණය කළේ පසුගිය පෙබරවාරී 16 වැනිදා සිටය.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් කෙරෙන කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථායේ නිරෝධායන පහසුකම් ද ඇති කරමින් ඒ සඳහා විශේෂයෙන්ම සූදානම් කෙරේ. එහිදී උපරිම සෞඛ්‍යය ආරක්‍ෂාක ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කෙරේ.

පළමු පුහුණු කාලය දින 17 කි. දින 4 ක නිවාඩුවකට පසුව නැවතත් දින 17 ක පුහුණුවීම් ආරම්භ කෙරේ. ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජින් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණුවීම් පැවැත්වේ.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් නැවැත ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමයි.

‘‘කොරෝනා’’ වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමනු ලැබූ එම සුදුසුකම් ලැබීමේ තරග උතුරු කොරියාවට, දකුණු කොරියාවට හා ලෙබනනයට එරෙහිව පැවැත්වේ. මෙම තරග කොළඹ , පියැන්ජියාන්ග් හා බීරූට් යන නගර වලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ඒ සඳහා සහභාගි වන ක්‍රිඩකයන්ට පී.සී.ආර්. පරීක්‍ෂණයද අනිවාර්ය කර තිබේ. ඒ හැරෙන්නට පුහුණු සංචිතයේ ක්‍රිඩකයන්ට විටින් විට එම පරීක්‍ෂණයට පෙනි සිටීමද අනිවාර්ය කර තිබේ.

ඉදිරියේදී අමීර් ඇලජින් මහතාගේ උපදෙස් පරිදි ජාතික සංචිතයට නවක ක්‍රිඩකයන් තවදුරටත් බඳවා ගැනීම සිදු කෙරෙ එහිදී යොවුන් ක්‍රිඩකයන්ට වැඩි අවස්ථාවක් සැලසේ.
ජාතික සංචිතය සඳහා සෙසු ක්‍රිඩකයන් කැඳවීම ඉදිරියේදී අදියර කිපයක් යටතේ සිදු කිරීමට නියමිතය.

ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩකයෝ 24 ක් ඇතුළත් වූහ. අමීර් ඇලජින් මහතා විසින් ක්‍රිඩකයන් 56 දෙනෙකුගෙන් මෙම 24 දෙනා තෝරා ගත්තේය.

 


අදහස් (0)

පාපන්දු සංචිතයේ පුහුණුවීම් 22 වැනිදා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.