Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සම්මේලනය දෙගිඩියාවෙන්

පාපන්දු සම්මේලනය දෙගිඩියාවෙන්

නාමල් පතිරගේ - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කල්දමනු ලැබූ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ලබන වසරේ (2021- අප්‍රේල් මාසයේදී) පැවැත්වීම සඳහා සිය සහභාගිත්වය සනාථ කරන ලෙස දකුණු ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. එහෙත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවට පත්ව සිටින බව පැවසෙන්නේ වසර 2021 ආරම්භයේදීම ශ්‍රී ලංකා ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කරන බැවින් එය පවත්වා ගෙන යාමේදී ඊට බලපෑමක් එල්ල විය හැකි නිසාය.


ලබන පෙබරවාරි මාසයේදී පමණ ශ්‍රී ලංකා ලීග් තරගාවලිය ආරම්භ කිරීමට සූදානම් වන අතර එකී කාලය තුළදී ජාතික පාපන්දු සංචිතය විසුරුවා හැරීමක්ද සිදුවන බැවින් පාපන්දු සම්මේලනය එහිදී වඩාත් දුෂ්කරතාවයට පත්වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.


ශ්‍රී ලංකා ලීග් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මෙම නොවැම්බර් මාසය අගදීය. ඒ සඳහා පුහුණුවක් ලෙස බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබූ ජාතික පාපන්දු සංචිතය තාවකාලිකව විසුරුවා හැරීමට මේ වනවිටත් කටයුතු කර තිබේ.


එහෙත් කොවිඩ් අනතුර හමුවේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


වසර 2020 ට නියමිතව තිබියදී ලබන වසරට කල් දමනු ලැබූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මූලික සැළසුම් සකස් කරන විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.


ඔහු පවසන්නේ තරගාවලියට දින යොදා ගැනීමේදී කටාර් ලෝක කුසලාන (2022) තරගාවලියේ ආසියානු කලාප දෙවනි වටයේ ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව තිබෙන ඉතිරි තරග තුනක් කෙරෙහි ද අවධානය යොමු කිරීමට සිදුව ඇති බවයි. එසේ දෙවනි වටයේ ඉතිරි තරග තුනකට ශ්‍රී ලංකාව ලබන මාර්තු සිට සහභාගිවීමට නියමිතය.


එහිදී විශේෂිතම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාවේ සේවයට පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට බඳවාගත් බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාට මේ දක්වා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහභාගි වූ ජාත්‍යන්තර තරගයක් මෙහෙයවීමේ අවස්ථාව හිමි නොවීමය. ඔහු සේවය බාරගත්දා පටන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය ඇණ හිටීම ඊට හේතුවයි.


ශ්‍රී ලංකාවේ වසර දෙකක කාලයක් සඳහා සේවයට පැමිණ තිබෙන බොස්නියානු පුහුණුකරු ඇලජික් මහතා මෙරට ජාතික පාපන්දු පුහුණුකරු ලෙස පත්වන විට ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 206 වැනි ස්ථානයේද, ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව අවසන් (44 වැනි) ස්ථානයේද මේ වනවිට පසුවේ. ඒ පසුගිය පෙබරවාරි මාසයේ සිටය.


ආසියානු පාපන්දු සමුළුවේ ව්‍යාපෘති ආධාර යටතේ මෙම විදේශීය පාපන්දු පුහුණුකරුවාගේ සේවය ශ්‍රී ලංකාව ලබා ගන්නා අතර මේ වනවිට ඔහු ජාතික පාපන්දු තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කළේය. ජාතික පුහුණු සංචිතයේ කටයුතුවලින් ඔහුව මේ වනවිට තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබෙන තත්ත්වයක් තුළ ජාතික පාපන්දු තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයාගේ වගකීම් ඔහුට පවරමින් වසර 2021 දේශීය ජාතික පාපන්දු ප්‍රවර්ධන සැළැස්ම සකස් කරන ලෙස පාපන්දු සම්මේලනය ඔහුට උපදෙස් දී තිබේ.


සැළැස්මට අනුව වසර 2021 ට කල් දැමූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියට වැඩි වැදගත්කමක් ලබාදී තිබේ. කෙසේ වුවත් පාපන්දු සම්මේලනය ඔහුට මීට පෙර ලබාදී තිබූ ප්‍රධානතම ඉලක්කය වූයේ එළඹෙන දකුණු ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවම වශයෙන් අවසන් පූර්ව වටය තෙක් රැගෙන ඒමටය.


වසර ගණනාවක් තිස්සේ මෙම තරගාවලියෙන් අසමත්ව සිටින ශ්‍රී ලංකාව අවසන් වරට 2018 දී පැවැති තරගාවලියේ මූලික වටයෙන්ම පරාජයට පත්විය. ඊට හේතු වූයේ එහිදී ඉන්දියාවට පරාජය වෙමින් (2-0) දෙවැනි තරගයේදී මාලදිවයිනට (0-0) සම වීමයි. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය මේ දක්වා ජයගත් එකම අවස්ථාව 1995 දී වාර්තා විය. ඒ මෙම තරගාවලිය සාක් රන් කුසලාන තරගාවලිය ලෙස පැවැත්වූ සමයයි. ඉන්දියාව මෙම තරගාවලිය වැඩිම වාර ගණනක් ජය ලැබූ රටයි. හත්වරක් මෙම තරගාවලිය ඔවුන් ජයගෙන තිබේ.


අදහස් (0)

පාපන්දු සම්මේලනය දෙගිඩියාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.