Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features කුසල් පෙරේරාගේ ස්ථානය හිසරදයක්

කුසල් පෙරේරාගේ ස්ථානය හිසරදයක්

editorial - 2019 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුමාර් සංගක්කාර විසිනි)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර ආරම්භ වූයේ සත්කාරක එංගලන්ත කණ්ඩායම ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රිකට් විශාරදයන් අනුමාන කරන ලද පරිසරයක සිටය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි මා විසින් අනුමාන කරන ලැයිස්තුවේ සිටින ඉහළම කණ්ඩායම් හතරෙන් එකක් ද වන එංගලන්තය එම ස්ථානයේ සිටින්නේ කවර හේතුවක් නිසාද යන්න දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ක්‍රීඩා රටාවෙන් දැකගත හැකි විය.

දකුණු අප්‍රිකාව යනු කියන්නේ දුර්වල කණ්ඩායමක් නොවේ. ඇත්ත වශයෙන්ම, තරග ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියෙන නියම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නවා. එහෙත් මේ ලෝක කුසලාන තරගාවලියේ සිටින සමහර කණ්ඩායම් අති දක්ෂ කණ්ඩායම්.  කණ්ඩායමේ සෑම ස්ථානයකම උපරිම දක්ෂතාවන් දක්වන ඉහළම පෙළේ තුන් ඉරියව්වෙන් අංග සම්පූර්ණ ක්‍රීඩකයන් සන්නද්ධ නැති ඕනෑම කණ්ඩායමකට එම කණ්ඩායම් දැඩි අභියෝගයක් වෙනවා. 

ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී මගේ හදවත ටිකක් විතර කලබලයි. සාමුහික උත්සාහයකින් යුතුව අපේ කණ්ඩායම ශක්තියක් ගොඩනගා ගනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා. ඒත්  මේ තරගාවලිය ආරම්භයේදී ඉහළම දක්ෂතා දක්වනු ඇතැයි මට අපේක්ෂා කළ හැකි කණ්ඩායම් හතර වන්නේ එංගලන්තය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව හා නවසීලන්තය හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණයි. 

කොදෙව්වන් ක්‍රීඩා කරන විලාශය අපි සිකුරාදා දැක්කා. ඔවුන් ආරම්භ කළේ ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ගේ අධික වේගය හා ආක්‍රමණයෙන් යුත් සිත් ඇදගන්නා ක්‍රීඩාවකින්. ඔන්ඩි්‍ර රසල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී නැවත වතාවක් ඔවුන් සමග එක්ව සිටින අයුරු දැක ගැනීමට හැකි වීමත් සතුටට කරුණක්. ඔහු සම්පූර්ණ ශරීර යෝග්‍යතාවෙන් සිටියොත්, මේ ලෝක කුසලාන තරගාවලිය පිත්තෙන් හා පන්දුවෙන් ආලෝකවත් කිරීමේ හැකියාව ඔහු සතුව තිබේ. 

ශ්‍රී ලංකාව ඔවුන්ගේ පෙරහුරු තරගවලදී ප්‍රදර්ශනය කරනු ලැබුවේ සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවක්. එය නරක නොවුණත් දැන් තියෙන එක්දින තරග රටාව අනුව හොඳ ක්‍රීඩා විලාශයක් නම් නොවේ. 

ඔවුන්ගේ පිතිකරණයේ ස්ථිර බවක් පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් දිමුත් (කරුණාරත්න) ලකුණු ලබා ගන්නා අයුරු දැක ගැනීමට ලැබීම සතුට ගෙනදෙන කරුණක් වුණා.  මෑත අතීතයේ ඉතාමත් අඩු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පළපුරුද්දක් තිබෙන නව නායකයෙකු වශයෙන් ඔහු ආරම්භයේදී පිත්තෙන් පෙරමුණ ගත්තා වගේ පන්දු රකින අවස්ථාවන්වලදිත් පෙරමුණ ගනිමින් උපායශීලී සහ කඩිසර විය යුතුවීම අවශ්‍ය වෙනවා. 

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා කියන්නේ බලාපොරොත්තු තැබිය හැකි ඉනිම ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයන්. පාලනයක් සහිත ආත්ම විශ්වාසයක් ඉසුරු උදානගෙන් දිස්ව තිබෙන අතර නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් යන දෙදෙනාම නව පන්දුවෙන් භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි ක්‍රීඩකයන් බවට පත්ව සිටිනවා.

ලොකුම හිසරදය ලෙසින් මම දකින්නේ කුසල් පෙරේරා පන්දුවට පහර දීමට පැමිණෙන අංක 3 ස්ථානයයි. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ කුසල් පෙරේරා අංක 3 ස්ථානයේ ක්‍රීඩා නොකළ යුතුය යන්නයි.  

එංගලන්තය වෙනුවෙන් අංක 5 ස්ථානයෙන් පැමිණ තරගයේ ස්වභාවය අනුව ක්‍රීඩා කරන ජොස් බට්ලර් වගේ කුසලුත් අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිවිසෙනු දැකීමට මා වඩාත් ප්‍රිය කරනවා. කණ්ඩායමක් තුළ උවමනාවට වැඩියෙන් කිසිවක් කපා කොටා වෙනස් කළ නොහැකිවාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය මේ කරුණ පිළිබඳව ඉක්මනින් තීරණයකට එළැඹීම අත්‍යවශ්‍යයි.

අපේ කණ්ඩායමේ සැලකිලිමත් විය යුතු තවත් අංශයක් වනුයේ දඟ පන්දු යැවීමයි. ජීවන් මෙන්ඩිස්ගෙන් ස්ථාවර බවක් දිස්ව තිබෙන නමුත් ජෙෆ්රි වැන්ඩසේ කළමනාකාරීත්වය බලාපොරොත්තුවන දක්ෂතා අහලකටවත් පැමිණිලා නැහැ. මෙය දැඩි කණස්සල්ල දනවන කාරණාවක් බවට පත්වන්නේ වර්තමාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවන් නතර කළ හැකි එක ක්‍රමයක් වන්නේ දඟ පන්දු යවන්නන් විසින් පිතිකරුවන් දවා ගැනීමට සමත් වීම නිසයි. ඒ නිසා දඟ පන්දු යවන්නන් ඒ කාර්යය ඉටු කළ යුතුයි.

අවාසනාවකට වගේ මේ තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී අපි ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. අධිෂ්ඨානශීලී ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළ දිමුත් හැරුණු විට අපේ පන්දුවට පහර දුන්න අනෙක් පිතිකරුවන්ගේ විලාශය ගැන මා ඉතාමත් කලකිරීමකට පත් වුණා.

ඒ වගේම නවසීලන්තය තරගය සඳහා හොඳින් සංවිධානය වී සිටින බවත් ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ශක්තිමත් බවත් අප දැන සිටියා. නමුත් මීට වඩා හොඳින් පන්දුවට පහර දීලා ලකුණු 250කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරා යාවි කියලයි මම හිතුවේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගය ජයගත්තත් බංග්ලාදේශය සමග තරගය ඇතුළුව ඉතිරි තරග සියල්ල අපිට ලේසි පහසු වෙන්නේ නෑ. බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය ඉරිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී අපූරු ක්‍රීඩාවක නිරත වුණා. ඔවුන් දැන් ඉතාමත් තැන්පත් හා පළපුරුදු කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

මෙතැනදී වැදගත් වන්නේ කණ්ඩායමක් විදියට නැවත එකතු වී තරගයෙන් තරගයට සැලසුම් සකස් කරගෙන යෑමයි. ඊළඟ තරගයේදී ජයග්‍රහණයක් අත්කර ගත්තොත් අපේ විශ්වාසය ගොඩනගා ගන්න එය අපට ගොඩක් උපකාර වේවි.

ඉන්දියාව අසාමාන්‍ය ලෙසින් ශක්තිමත්ව සහ හොඳින් සමබරව සිටින කණ්ඩායමක්. ඔවුන්ගේ ලොකුම වාසිය වී තිබෙන්නේ ජස්ප්‍රිට් බුම්රාගේ මෙහෙයවීමෙන් යුත් වේග පන්දු බලඇණියයි. අද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින හොඳම වේග පන්දු යවන්නා බුම්රා යි. හර්දික් පාන්ඩ්‍යාගේ වේගය, පන්දු දෝලනය සහ තුන් ඉරියව්වේ හැකියාවද ඔවුන්ට ආශිර්වාදයක් වී තිබෙනවා. 

පළමු පෙරහුරු තරගය හැරෙන්නට ඔවුන්ගේ පිතිහරඹය විශිෂ්ට පළපුරුද්දෙන් ශක්තිමත්ව තිබෙනවා. මහේන්ද්‍ර සිං දෝනි හා කේ.එල්. රාහුල් ඇතුළු සියළු දෙනාම ඒ සඳහා දායක වී තිබෙනවා.  

ප්‍රතිවාදී කණ්ඩායම් විසින් පැහැදිලිවම රෝහිත් ෂර්මාව සහ විරාට්ව (කෝලිව)  දවා ගැනීම සඳහා ප්‍රධාන සැලසුම් සකසාවි. එතැනදි විරාට් (කෝලි)ට එරෙහිව ඔවුන් ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ‘ගලී’ ක්‍රීඩකයෙකු යොදවාගෙන පිට ඉන්නට මඳක් ඈතින් පන්දු යවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මොකද පන්දුවට පහර දීමේදී ඒ අංශයෙන් පොඩි දුර්වලතාවක් කෝලිගෙන් ප්‍රදර්ශනය වී තියෙන නිසා. ඒත් කෝලි ඉතාමත් දක්ෂ හා නුවණක්කාර පිතිකරුවෙක්. මේ කරුණු නිසා ඔහු මේ තත්ත්වයට සුදුසු වනසේ සකස් වී ශක්තිමත්ව සිටීවි.

යුස්වෙන්ද්‍රා වහාල්, කේදර් ජාදව් හා රවි ජදේජා සමග ඉන්දියා දඟ පන්දු ප්‍රහාරයද ශක්තිමත්ව තියෙනවා. අයි.පී.එල්. තරගාවලියේදී යාදෙව්  දැඩි ප්‍රහාරයකට ලක් වුණත් නැවතත් ශක්තිමත්ව අවතීර්ණ වී ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය දියුණු කිරීමේ හැකියාව ඔහුට තියෙනවා.

 

 


අදහස් (0)

කුසල් පෙරේරාගේ ස්ථානය හිසරදයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.