Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය

ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන්ගෙන් ඉටු වු සේවය අති ඉමහත්ය. එහිදී සනත් ජයසූරිය, රොමේෂ් කවිතාරණ, උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් යන ප්‍රබල ආරම්භක පිතිකරුවෝ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන යෑම සඳහා මහඟු සේවයක් ඉටු කළහ
 
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් 1996 වසරේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජයසූරියට සහ කළුවිතාරණට පැවරුණු වගකීම වූයේ මුල් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කරමින් පන්දුයවන්නන්ගේ ධෛර්යය විනාශ කරමින් ඔවුන් මන්දෝත්සාහී කිරීමයි. එහිදී ඔවුන් දෙදෙනා එම වගකීම අකුරටම ඉටු කළහ. ජයසූරිය එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ ඊට කදිම නිදසුනක් කියාපාමිනි. 
 
අනු ශූරතාව හිමිකරගත් 2007 වසරේදී තත්වය තරමක් වෙනස් වූ නමුත් ජයසූරිය ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 467 ක්ද, උපුල් තරංග අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 298 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන ඒමට පුරෝගාමී වූහ. එහිදී ජයසූරියගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 46.70 ක අගයක්ද, තරංගගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 27.09 ක අගයක්ද ගත්තේය. 
 
ආරම්භක පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් ඉහළ සේවයක් ඉටු වූයේ 2011 වසරේදීය. එහිදීද ශ්‍රී ලංකා කණ්ඩායමට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ නමුත් ඩිල්ෂාන් ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 500 ක්ද, තරංග ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 395 ක්ද රැස්කළහ. එහිදී ඔවුන් දෙදෙනාගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයන් පිළිවෙලින් 62.50 ක් සහ 56.42 ක් ලෙස සටහන් විය. 
 
කෙසේ වෙතත් තවත් මාස එකහමාරකින් පමණ එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය තෝරාගැනීම තේරීම් කමිටුවට මහත් ගැටළුවක් වී තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ සියලුම ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වීමයි. 
නිරෝෂන් දික්වැල්ල, කුෂල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම සහ ළහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයෝ රැසක් පසුගිය තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ ලෙස කටයුතු කළහ. නමුත් කණ්ඩායමට ආරම්භක පිතිකරුවකුගෙන් ඉටු විය යුතු සේවය ඉටු කිරීමට ඔවුහු අපොහොසත් වූහ. 
 
එවන් වාතාවරණයක් තුළ ලෝක කුසලාන සංචිතය නම් කිරීමට පෙර හදිසියේ අන්තර් පළාත් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පියවර ගත්තේ අවසන් 15 දෙනා තෝරාගැනීම සඳහා තේරීම් කමිටුවට යම් තරමක හෝ රුකුළක් ලබා දෙමිනි. කෙසේ වුවත් එම තරගාවලිය සහභාගි වූ කණ්ඩායම් හතරේ ආරම්භක පිතිකරුවන් 8 දෙනා අතරින්ද තරග 4 කදී ලකුණු 100 සීමාව පසුකර යෑමට සමත් වූයේ පිතිකරුවන් සිවුදෙනෙක් පමණි. 
 
එම තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස ඉහළම දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයා වූයේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්නය. එහිදී ශතයක් සහ අර්ධ ශතකයක් සමගින් ඔහු රැස්කළ ලකුණු 213 ක් වන අතර එහි සාමාන්‍යය 53.25 ක අගයක් ගත්තේය. 
 
මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න දෙවැනියට වැඩිම ලකුණු ලබාගත් ආරම්භක පිතිකරුවා බවට පත් වූයේ අර්ධ ශතකයක් සමග ලකුණු 165 ක් රැස්කරමිනි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.00 ක් ලෙස සටහන් විය. 
 
ගාල්ල කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි අර්ධ ශතකයක් සමග ලකුණු 114 ක්ද, මහනුවර කණ්ඩායමේ සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් සමග ලකුණු 101 ක්ද රැස්කරමින් තරග 4 කදී ලකුණු 100 සීමාව පසුකර ගිය සෙසු ආරම්භක පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ. 
 
මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ මෙම ආරම්භක පිතිකරුවන් 8 දෙනා අතරින් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කර ඇති උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මෙම තරගාවලියේදී දැඩි ලෙස ආසාර්ථක වීමයි. තරග 4 කට බැගින් ක්‍රීඩා කළ දික්වැල්ල සහ ගුණතිලක එහිදී පිළිවෙලින් ලකුණු 31 ක් සහ ලකුණු 25 ක් බැගින්  රැස්කරද්දී, තරග 3 කදී පමණක් පන්දුවට පහර දුන් තරංග රැස්කරගෙන ඇත්තේ ලකුණු 28 ක් පමණි. 
 
මෙම තත්වය මත ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තොරාගැනීමේදී ක්‍රිකට් තේරීම් කමිටුව මහත් අසීරුතාවකට මුහුණදෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 
 
මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතාගේන කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආරම්භක පිතිකරුවන් තේරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු තේරීම් කමිටුවට මේ වන විට කිසියම් අදහසක් ඇති බවයි. 
 
“අපි කණ්ඩායම තෝරන්නේ 18 වැනිදා. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන් විය යුතුද කියලා මේ වන විට අපට සෑහෙන අදහසක් තියෙනවා” යයි කී අසන්ත ද මැල් මහතා....
 
“සාමාන්‍යයෙන් තරගාවලියක් සඳහා අපි ආරම්භක පිතිකරුවන් දෙන්නෙකුයි තවත් අතිරේක ආරම්භක පිතිකරුවකුයි තෝරා ගන්නවා. අනෙක අංක 3 ක්‍රීඩා කරන කෙනාටත් ආරම්භ කරන්න පුළුවන්නේ...ඒ නිසා ඒ ගැන අදහසක් අපි තියාගෙන ඉන්නවා” යයි අසන්ත ද මැල් මහතා ලංකාදීපට පැවසීය. 
 
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදාට පෙර නම්කළ යුතුව තිබේ. 
 
අන්තර් පළාත් තරගාවලියේදී ආරම්භක පිතිකරුවන්ගේ දස්කම්
1 ළහිරු තිරිමාන්න 10 + 82 + 06 + 115 = 213 (53.25) 
2 දිමුත් කරුණාරත්න 35*+ 44 + 86 + 00 = 165 (55) 
3 සඳුන් වීරක්කොඩි 56 + 41 + 17 + 00 = 114 (28.5) 
4 සදීර සමරවික්‍රම 15 + 04 + 12 + 70 = 101 (25.25) 
5 අවිෂ්ක ප්‍රනාන්දු 54 + 05*+ 27*+ --- = 86 (86) 
6 නිරෝෂන් දික්වැල්ල 06 + 19 + 02 + 04 = 31 (7.75) 
7 උපුල් තරංග 12 + 01 + 15* + --- = 28 (14) 
8 ධනුෂ්ක ගුණතිලක 03 + 07 + 00 + 15 = 25 (6.25) 
 
 
1996 ලෝක කුසලාන තරගාවලිය 
සනත් ජයසූරිය 06 + 79 + 44 + 82 + 01 + 09 = 221 (36.83) 
රොමේෂ් කළුවිතාරන  00 + 26 + 33 + 08 + 00 + 06 = 73 (12.16) 
 
2007 ලෝක කුසලාන තරගාවලිය
සනත් ජයසූරිය 22 + 109 + 06 + 26 + 115 + 25 + 64 + 12 + 24* + 01 + 63 = 467 (46.7) 
උපුල් තරංග    30 + 26 + 64 + 12 + 08 + 62 + 11 + 06 + 00 + 73 + 06 = 298 (27.09) 
 
2011 ලෝක කුසලාන තරගාවලිය
තිලකරත්න ඩිල්ෂාන් 44 + 04 + 144 + 03 + 108*+ 73 + 33 + 50 + 41 = 500 (62.5) 
උපුල් තරංග 67*+ 06 + 133 + 03 + 102*+ 30 +02 + 19 + 33 = 395 (56.42) 

අදහස් (0)

ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.