Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket world cup 2019 බංග්ලාදේශය ලකුණු 21 කින් දකුණු අප්‍රිකාව පරදවයි

බංග්ලාදේශය ලකුණු 21 කින් දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2019 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගය ලකුණු 21 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 309 ක් පමණි.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 49 ක් වනවිට ඉතා අවාසාවන්ත ලෙස කුයින්ටන් ඩි‘කොක් පළමු කඩුල්ල ලෙස දැවීයාමෙන් පසුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඒඞ්න් මාක්‍රම් සහ ෆැෆ් ඩුප්ලෙසීස් සමත්වූහ.

හතරේ පහර 4 ක් සමගින් පන්දු 56 කදී ලකුණු 45 ක් රැස්කර සිටි මාක්‍රම්, සකීබ් අල් හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 102 ක් ලෙස සටහන් විය.

තෙවැනි කඩුල්ල ලෙස අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ෆැෆ් ඩුප්ලෙසීස් දවාගැනීමට මෙහෙදි හසන් සමත්විය. තරමක වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ඩුප්ලෙසීස් දැවීයන විට පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

මැදපෙළ පිතිකරුවන්වූ ඬේවිඞ් මිලර් පන්දු 43 කදී ලකුණු 38 ක්ද, රාසී වෑන්ඩසන් පන්දු 38 කදී ලකුණු 41 ක් සහ ජේ.පී.ඩුමිනි පන්දු 37 කදී ලකුණු 45 ක් රැස්කිරීමට සමත්වුවද බංග්ලාදේශ පන්දුයවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අපොහොසත් වූහ.

බංග්ලාදේශය ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මුස්ටෆීසූර් රහ්මන් කඩුලු 3 ක් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකූර් රහීම්ගේ පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් වේගවත් ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 60 ක් රැස්කිරීමට සමත්වූහ. ලකුණු 16 ක් රැස්කර සිටි ටමීම් ඉක්බාල් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ඇන්ඩිල් පෙලුක්වායෝ සමත්වූ අතර තවත් ලකුණු 15 ක් බංග්ලාදේශ ලකුණු පුවරුවට එක්වන විටදී දෙවැනි කඩුල්ල ලෙස සෞම්‍ය සර්කාර් දවාගැනීමට ක්‍රිස් මොරිස් සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාදුන් සෞම්‍ය සර්කාර් පන්දු 30 කදී හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 42 ක් බංග්ලාදේශ ඉනිමට එක්කිරීමට සමත්විය.

අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකූර් රහීම් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 141 කදී ලකුණු 142 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

ඉම්රාන් තහීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 75 ක් රැස්කර සිටි සකීබ් අල් හසන් දැවී ගිය අතර පන්දු 84 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. 

ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට උත්සහ දැරීමේදී ඇන්ඩිල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ රාසී වෑන්ඩසන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 78 ක් රැස්කර සිටි මුෂ්ෆිකූර් රහීම්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. පන්දු 80 කට මුහුණදුන් මුෂ්ෆිකූර්ගේ ඉනිම හතරේ පහර 8 කින් අලංකාර විය.

මැදපෙළ පිතිකරුවන්වූ මහමුදුල්ලා සහ මොසැඩෙක් හුසේන් එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී පැවැත්වූ ලකුණු 66 ක සම්බන්ධතව හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 300 සීමාව පසුකිරීමට අවස්ථාව හිමිවිය. වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ මහමුදුල්ලා පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් දකුණු අප්‍රිකාවට ලකුණු 331 ක ඉලක්කයක් ලබාදීමට සමත්විය.

දකුණු අප්‍රිකානු නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කිරීමට අපොහොසත් වූහ.

ඇන්ඩිල් පෙලුක්වායෝ, ක්‍රිස් මොරිස් සහ ඉම්රාන් තාහීර් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසීස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

...


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 21 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.