Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket world cup 2019 අර්ධ ශතකය අහිමිවීම ගැන දුකයි

අර්ධ ශතකය අහිමිවීම ගැන දුකයි

editorial - 2019 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට...) 

සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී අර්ධ ශතක රැස්කිරීමට තිබූ අවස්ථාව මඟ හැරීම පිළිබඳව කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ඊයේ (25) පැවසීය.

 ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ පෙරවරුවේ පැවැති පුහුණු සැසිය අතරතුරදී අවිෂ්ක වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 

“ලෝක කුසලාන පළමු තරගයේදී ලකුණු 49 ට දැවී ගිය එක ගැන ඇත්තටම දුකයි. එංගලන්ත පන්දු යවන්නන් ඒ අවස්ථාවේදී මට ඉදිරියට පන්දු යවන්නේ නෑ. මම දැවී ගිය පන්දුවට සමාන පන්දු තමයි යවන්නේ. ඒ පහර පොඞ්ඩක් එහාට මෙහාට වුණානම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. මම ඒ පන්දු රකින්නා දැක්කා. මම පහර ගැහුවෙ එතනට නෙමෙයි වෙන තැනකටයි. පොඞ්ඩක් වෙනස් වුණා”

“පොඩි වයසින් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක්. එය රැකගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම හිතුවෙ නෑ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙයි කියලා. දකුණු අප්‍රිකනු සංචාරයෙන් පසුවත් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නෑ”

 ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව ජය ලැබූ තරගයේදී අවිෂ්ක අංක තුන පිතිකරු ලෙස පන්දු 39 කින් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු පෙරළිකරු බවට පත්විය. 

“එංගලන්තය කියන්නේ අංක එකේ කණ්ඩායම. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් 140 ට වඩා වේගයෙන් පන්දු යවනවා. නමුත් මම බය නැතුව ක්‍රීඩා කළා. ඒ නිසා තමයි මට ලකුණු රැස්කරන්න හැකි වුණේ”

“එංගලන්ත පන්දු යවන්නන් හොඳට පන්දු යැව්වා. අමාරුවක් නෑ කියන්නම බෑ. බය නැතුව පන්දුවට පහර දීම නිසා ලකුණු රැස්කරන්න හැකිවුණා”

“ඒ අවස්ථාවේ කඩුලු දෙකක් දැවී තිබුණු නිසා මමත් දැවී ගියා නම් කණ්ඩායම තවත් පහළට වැටෙනවා. මගෙන් ලකුණු ආපු නිසා තමයි අපිට උඩට එන්න පුළුවන් වුණේ. කුසල් (කුසල් මෙන්ඩිස්) අයියා සහ ඇන්ජි අයියා (ඇන්ජලෝ මැතිව්ස්) හොඳට බැට් කරපු නිසා ලොකු ලකුණු සංඛ්‍යාවකට එන්න හැකි වුණා”

තවමත් 21 වැනි වියේ පසු වන අවිෂ්ක සිය ක්‍රීඩා දිවිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. 

“මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටයි මම අණ්ඩව ක්‍රීඩා කළේ. මගේ පියා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. ඔහුට ආශාවක් තිබුණා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා බලන්න. මට එය ඉටු කරන්න හැකි වුණා”

“මම කුඩා කළෙ ඉදන්ම වේගයෙන් පන්දුවට පහර දෙනවා. එය දිගටම තියෙනවා. ශ්‍රී ලංකා වයස 19 න් පහළ එංගලන්ත සංචාරයේදී ශතක තුනක් රැස්කිරීම නිසා තමයි මට පළමුවෙන්ම ශ්‍රී ලංකා එක්දින පිලට එන්න අවස්ථාව ලැබුණේ”

“මට 2016 වසරේ අගෝස්තු මස ඕස්ටේ්‍රලියාවට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. එම තරගයේදී මිචෙල් ස්ටාක් වැනි වේග පන්දු යවන්නෙකුට මුහුණ දෙන විට මම ‘ඒ’ කණ්ඩායම හෝ නියෝජනය කර එවැනි වේග පන්දු යවන්නන්නට ක්‍රීඩා කරලා තිබුණේ නෑ. එහිදී මම ස්ටාක් හමුවේ දෙවැනි පන්දුවේදී දැවී ගියා”

අවිෂ්කට එම තරගයෙන් පසුව නැවත එක්දින තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව වසර දෙකහමාරකට පමණ පසු දකුණු අප්‍රිකාවට එරෙහිව මේ වසරේ මාර්තු මස හිමිවිය.  

“පළමු තරගයට සහභාගි වන විට මගේ වයස අවුරුදු 18 යි. ඉන් පසුව අවස්ථාව නොලැබුණත් මම හිතුවා මට වයස තියනවා කියලා. ඉන් පසුව ‘ඒ’ කණ්ඩායමේ සහ නැගීඑන කණ්ඩායමේ සංචාරවලදී දස්කම් දැක්වීමෙන් තමයි නැවත අවස්ථාව ලැබුණෙ”

“අපේ වේගයෙන් පන්දු යවන්නන්ට සහ මැෂින්වල වේගය වැඩියෙන් ගහලා වේග පන්දුවට එරෙහිව පහර දීමට පුහුණුවීම් කළා. යැයි අවිෂ්ක වැඩි දුරටත් පැවසීය. 

අවිෂ්ක ප්‍රනාන්දු වයස 15 න් පහළ ක්‍රීඩකයකු ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ඉනිමකදී ත්‍රිත්ව ශතකයක් රැස්කරමින් කුඩා කළම අවදානය දිනාගත් ක්‍රීඩකයෙකි. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී අනිද්දා (28) පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

ශ්‍රී ලංකා පිල ඊයේ (25) පෙරවරුවේ රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේ පුහුණු සැසියකට සහභාගි වූ අතර එම පුහුණු සැසියට ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයෝ සහභාගි වී සිටියහ.  

ශ්‍රී ලංකා පුහුණු සැසිය අතරතුරදී පෙරවරු 11.30 ට පමණ වර්ෂාව ඇඳ හැලුණු අතර ඊයේ පෙරවරුවේ ඩර්හැම්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 ක පැවතුණි. කෙසේ වෙතත් එංගලන්ත ඉදිරි කාලගුණ අනාවැකි අනුව මේ මස 28 වැනිදා වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැක බවට වාර්තා කර තිබේ.  

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය දිවා තරගයක් ලෙස එංගන්ත වේලාවෙන් පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඩර්හැම්හිදී පැවැත්වෙන පළමු තරගය ද මෙය වේ. 

 


අදහස් (0)

අර්ධ ශතකය අහිමිවීම ගැන දුකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.