Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියලුම අපේක්‍ෂා බිඳ වැටී තිබූ මොහොතක, හැකිනම් ශ්‍රී ලංකා පිල ගොඩගන්නෙමුයි අදිටන් කරගත් කුසල් මෙන්ඩිස් සහ රොෂේන් සිල්වා ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 284 කට සීමාකළ එංගලන්ත ක්‍රීඩකයෝ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 42 ක පහසු ජයක් අත්කරගත්හ. තරගයේ දිනයක් ඉතිරිව තිබියදීම ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට 3-0 ක සුද්දයක් දුන්හ.

වසර 36 ක ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා  - එංගලන්ත තරග මාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තය හමුවේ 3-0 ක තරගාවලිය පරාජයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 327 ක රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) දිවා ආහාරය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් (නොදැවී 77) සහ රොෂේන් සිල්වා (නොදැවී 37) පිටියේ සිටියදී, ඉලක්කය කරා අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 163 ක් අවශ්‍යව තිබිණ. අවශ්‍ය තරම් කාලයද ඉතිරි වී තිබිණ.

එහෙත් තීරණාත්මක සාධකය වූයේ හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවයි.

දිවා ආහාරයෙන් පසුව වරක් දුවද්දී දැවී යාමට ගිය කුසල් මෙන්ඩිස් යන්තමින් බේරුණේ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුව බාරදීම කඩුල්ලෙන් ඈතට ඇදීගිය හෙයිනි. එහෙත් දෙවැනි වතාවේදී කුසල්ලේ අළස දිවයාමෙන් නිසි ප්‍රයෝජන ගත් ජැක් ලීච්, බැක්වර්ඞ් ස්ක්වෙයාර් ලෙග් ස්ථානයේ සිට පන්දු යවන්නාගේ අන්තයට පන්දුව දමා ගැසීය.

ලීච්ගේ පන්දුව කඩුල්ලේ වැදීමත් සමගම විනාඩි 200 ක් පුරා පන්දු 129 කට මුහුණ දෙමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 86 දී නිමාවූවා පමණක් නොව, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිව තිබූ එකම ශතකයකද අහිමිව ගියේය. මෙම තරගාවලියේදී (ටෙස්ට් තරග 3 කදී) එංගලන්තය වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වූ නමුත් එකම ශ්‍රී ලාංකික පිතිකරුවකුට හෝ ශතකයක් ලබාගත නොහැකි විය.

කෙසේ වෙතත් අද පෙරවරුවේදී මෙම පිතිකරුවන් දෙදෙනා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් අතර අදිල් රෂීඞ් සහ මුයින් අලී දෙදෙනාගේ පන්දු වැඩියෙන් දඟ කැවෙන සෑම අවස්ථාවකදීම එම අතිරේක දඟ කැවීම ප්‍රයෝජනයට ගනිමින් පන්දුව හතරේ සීමාවට යැවීමට දෙදෙනාම වගබලාගත්හ. සම්පූර්ණ උදය වරුවටම ස්වීප් පහරක් ගැසුනේ එකම අවස්ථාවකදී පමණි. ඒ දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදීය.

කුසල් මෙන්ඩිස් දැවී ගිය නමුත් රොෂේන් සිල්වා දිගටම සටන ගෙන ගියේය.

විනිසුරු තීරණ විකාරයක් වී තිබූ දිනයේ රොෂේන් සිල්වා දවාගැනීමටත් විතීවි ක්‍රමවේදයේ සහාය ලබාගැනීමට එංගලන්ත නායකයාට සිදුවිය. රොෂේන් සිල්වා ලකුණු 226 දී දැවී ගිය නමුත් අවසන් කඩුල්ල දවාගැනීමට තවත් විනාඩි 49 ක් කරා වෙහෙසීමට එංගලන්ත පන්දු යවන්නට සිදුවීම එස්.එස්.සී. පිටියේ බහුතරය වූ  ඉංග්‍රීසි ජාතික නරඹන්නන්ට හිසරදයක් විය. එහෙත් එයම ඔවුන්ට කදිම විනෝදයක් වූයේ මාලින්ද පුෂ්පකුමාර සහ සුරංග ලක්මාල් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් ලකුණු ලබාගත් ආකාරය නිසාය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දෙවැනි හොඳම සම්බන්ධතාව වූ එය ලකුණු 58 ක් දක්වා දිගු වී තිබිණ.

 

 

ඡායාරූප - චතුර එස් කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.