Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්

සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්

editorial - 2019 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම කෙරෙන රජයේ අතපෙවීම් හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගිය 18 වැනිදා මෙම තීරණය ගනු ලැබ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නිදහස සිම්බාබ්වේ රජයෙන් නොලැබෙන බව ප්‍රකාශ කරමිනි. 

‘සිම්බාබ්වේ ක්‍රිකට්’ යනුවෙන් හැඳින්වෙන ක්‍රිකට් ආයතනය වෙත මුදල් නිකුත් කිරීම වහාම නතර කිරීමටත්, අන්තර්ජාතික ක්‍රිකට් තරග වලට සහභාගි වීම අත්හිටුවීමටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පරිපාලන මණ්ඩලය පසුගිය 18 වැනිදා ඒකමතිකව තීරණය කළේය. 

“අපි සාමාජික රටක් තහනම් කිරීමට ලෙහෙසියෙන් පෙළඹෙන්නේ නෑ...ඒත් අපේ මේ ක්‍රීඩාව දේශපාලන අතපෙවීම් වලින් නිදහස්ව තියාගන්න ඕනා” යයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා පැවසීය. 

“සිම්බාබ්බේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන දේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාව බලවත් සේ උල්ලංඝණය කිරීමක්. මේ විදිහට දිගටම යන්න බෑ” යයිද මනෝහර් මහතා පැවසීය. 

මෙම තහනම නිසා ලබන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිම්බාබ්වේ පිලට සිදුව තිබේ. සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර එම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණ. 

“මේකෙන් වෙන්නේ අපේ කාර්ය මණ්ඩලයටත්, ක්‍රීඩකයන්ටත් තම තමන්ගේ වැටුප් නොමැතිව මාස ගණනක් ගත කරන්නට වෙන එකයි....”

“අපේ ක්‍රීඩකයන් හැකි ඉක්මනින් නැවතත් ක්‍රීඩා පිටියට පිවිසීම දැකීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා සිම්බාබ්වේහි ක්‍රීඩා සහ විනෝදාස්වාද කොමිසමත් අනෙකුත් පාර්ශ්වයන් සමගත් එක්ව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය නැවත ලබාගැනීමට අපි උත්සාහ කරනවා” යයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.  

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලා ඇත්තේ මෙම තීරණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට වන බලපෑම සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙසයි. 

“හිටපු පරිපාලනයන් යටතේත්, සිම්බාබ්වේ ක්‍රීඩකයන් වසර ගණනාවක් තිස්සේ මහත් දුක් වින්දා. අවස්ථා ගණනාවකදීම ඔවුන්ගේ වැටුප් ගෙවා තිබුණේ නෑ...ක්‍රීඩකයන්ගේ ගිවිසුම් බොහෝ උල්ලංඝණය කෙරුණා....අපි මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් රැකගත හැකි පරිදි කිසියම් ක්‍රවේදයක් සකස් කරන ලෙසයි” යයි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ සභාපති ටෝනි අයිරිෂ් මහතා පැවසීය. 

සිම්බාබ්වේ රාජ්‍යයේ ක්‍රීඩා සහ විනෝදාස්වාද කොමිසම විසින් පසුගිය මාසයේදී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තහනම් කරන ලදි. එහි අනුයාත ප්‍රතිඵලයක් වූයේ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් සංගමය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතර මතගැටුමක් නිර්මාණය වීමයි. 

පසුගියදා නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සිම්බාබ්වේ පිලට සුදුසුකම් ලබාගත නොහැකි විය. ප්‍රධාන පෙළේ කණ්ඩායම් වලට එරෙහිව තරග සංවිධානය කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන අපොහොසත් වූයේ සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයේ මූල්‍ය තත්ත්වය දිගින් දිගටම අයහපත් තත්ත්වයට පත්වීම හේතුවෙනි. 

1992 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) ලබාගත් සිම්බාබ්වේ රාජ්‍යය 2003 දක්වාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සාර්ථක ගමනක් ගිය අතර 2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයටද සුදුසුකම් ලබාගත්තේය. එහෙත් පසුව සුදු ජාතික ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කරමින් දේශීය ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව දිය යුතු යයි එරට රජයෙන් කළ නිර්දේශ සමගින් සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින අගාධයටම ඇදී ගියේය. 

- 213


අදහස් (0)

සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.