Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

සිම්බාබ්වේ පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

editorial - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරකට වැඩි කාලයකට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන නමුත් ලැබුණ අවස්ථාවේදීම සාර්ථක ආරම්භයක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දින ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 189 ක් ලබාගත්හ. සිම්බාබ්වේ නුවර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන මෙම තරගය අද (19 වැනිදා) ආරම්භ විය.

තරමක් මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරත වූ නමුත් නවක ක්‍රීඩකයන් ලෙසින් තමන්ගේ වගකීම මැනවින් වටහාගෙන සිටි සිම්බාබ්වේ පිතිකරුවෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදු පන්දු යවන්නන් වන සුරංග ලක්මාල් සහ කසුන් රාජිත හමුවේ පරෙස්සම් සහගත වූහ.

ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනාම යැවූ ඕවර 32 දී සිම්බාබ්වේ පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 49 ක් පමණි. එහෙත් ඕවර 21 ක් යැවූ ලසිත් ඇඹුල්දෙණිය හමුවේ තරමක් නිදහසේ ලකුණු ලබාගත් ප්‍රින්ස් මසාවුරේ (55), කෙවින් කසූසා (63) සහ ක්‍රෙග් අර්වින්  (නොදැවී 55) තිදෙනා අර්ධ ශතක තුනකින් සිය කණ්ඩායම සවිමත් කළහ.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස් කිසිම පැකිලීමකින් තොරව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. එහි ප්‍රතිඵල සාර්ථකව අත්කර දුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මසාවුරේ සහ කසූසා (නොදැවී 48) පළමු කඩුල්ල වෙනුවෙන් ලකණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ පන්දු 301 ක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙහෙසට පත්කරමිනි.

මෙම ටෙස්ට් තරගය වසර 3 කට පසුව සිම්බාව්වේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයයි.
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන කෙවින් කසූසා පැය 5 කට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 63 ක් ලබාගත්තේ පන්දු 214 කින් 6 ක් හතරේ සීමාවෙන් එපිටට යවමිනි. ඒවායින් එකක් හයේ පහරක් විය. සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී කසූසා ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව රැකගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට නොහැකි විය.
සිම්බාබ්වේ පිලේ නව ටෙස්ට් නායකයා වන විලියම්ස්, කාසියේ වාසිය දිනාගන්නා විටත් අහස මන්දාරම් කර තිබිණ. එහෙත් විලියම්ස් නොබියවම පන්දුවට පහර දීම තෝරාගත්තේ තමන්ගේ කණ්ඩායමට කෝඩුකාරයන් තිදෙනකු ඇතුළත්ව තිබියදීය. ආරම්භක පිතිකරු කෙවින් කසූසා, වමතින් දඟ පන්දු යවන ඒන්ස්ලි එන්ලොවූ සහ වේග පන්දු යවන්නකු වන වික්ටර් නිවුචි අද සිය ටෙස්ට් හිස්වැසුම් දිනාගත්හ.

පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකින් එකකට වත් ක්‍රීඩා කළ නොහැකි වූ සුරංග ලක්මාල් මෙම තරගයේදී නැවතත් කණ්ඩායමට එක්වූ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ පළපුරුද්ද තේරීම් කමිටු නිලධාරීන්ට අමතක කළ නොහැකි විය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වයෙන් (ටෙස්ට් තත්ත්වයෙන්) මාස තුනක කාලයක් නෙරපා හැර සිටි සිම්බාබ්වේ කණ්ඩායම නැවතත් ටෙස්ට් රාමුවට ඇතුළත් කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එල්ල වී තිබූ දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනමට ලක්වී තිබිණ.

 

 

- 213


අදහස් (0)

සිම්බාබ්වේ පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.