Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් ඕස්ට්‍රේලියාව තනි අතින් තල්ලු කරයි

ස්මිත් ඕස්ට්‍රේලියාව තනි අතින් තල්ලු කරයි

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ තමන්ගේ ආධිපත්‍යය තවත් ඉහළ තලයකට රැගෙන ගිය ස්ටීව් ස්මිත් අති විශිෂ්ට ගණයේ ද්විත්ව ශතකයක් ලබාගනිමින් සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදීත් ඕස්ට්‍රේලියානු පිල ඉදිරියටම කැඳවාගෙන ගියේය.

මැන්චෙස්ටර්හි ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ස්මිත් ලබාගත් ද්විත්ව ශතකය හේතුවෙන් සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 497 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 10 ක් තුළදී එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ජෝ ඩෙන්ලිවද ආපසු ක්‍රීඩාගාරයට යැවීය. දිනය නිමා වනවිට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා සිටියේය.
 
පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් එංගලන්තය ඉතිරි කඩුලු 9 දැවී යාමට පෙර තවත් ලකුණු 275 ක් ලබාගත යුතුව තිබේ. අළු බඳුන තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙසින් සමවී තිබුණද ස්ටීව් ස්මිත්ගේ ද්විත්ව ශතකයත් සමගින් එහි වාසිය ඕස්ට්‍රේලියාව දෙසට නැඹුරු වී තිබේ.

ටෙස්ට් පිතිකරුවකු සතුවිය යුතු ඉවසීම මෙන්ම තැන්පත්කම ඔහු සතුව තිබිණ. වාසනාවද ඔහුට අත වනමින් සිටියේය. ස්මිත් ලකුණු 118 ක් ලබා සිටියදී ස්ලිප් හි සිටි බෙන් ස්ටෝක්ස් විසින් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයෝ මහත් උද්දාමයට පත්වූහ. එහෙත් එහි සතුට පැවැතියේ විනාඩියකටත් අඩු කාලයකි. රූපවාහිනී විනිසුරුවරයා කීවේ ජැක් ලීච්ගේ පන්දුව නිපන්දුවක් බවයි. ඒ වන විටත් ක්‍රීඩාගාරය දෙසට ඇවිද යමින් සිටි 30 හැවිරිදි පිතිකරුවා අපසු හැරී කඩුල්ල වෙත ආවේය. එය ඔහු ඊයේ දිනයේදී ලබාගත් දෙවැනි වාසනාව විය.

ඊයේ තරගය ආරම්භ කරමින් යැවුණු දෙවැනි ඕවරයේදී පන්දු යැවූ ජොෆ්රා ආචර්ගේ අතටම ස්මිත්ගෙන් ලැබුණු උඩපන්දුවක් රැකගත නොහැකි විය. ඒ වන විට ස්මිත් යන්තම් ලකුණු 60 පසුකර සිටියා පමණි.

ස්මිත් මෙවර අළු බඳුන තරගාවලියේදී ශතක 3 ක් ලබා සිටින අතර පළමු තරගයේ සිටම ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 144 යි, 142 යි, 92 යි සහ 211 ක් වශයෙනි. ඉනිමක සාමාන්‍යය 147.25 කි.

නායක ටිම් පේන් සහ ස්මිත් අතර පැවැති ලකුණු 145 ක සම්බන්ධතාව හේතුවෙන් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 5 කට 369 ක් ලෙසින් සටහන් වූ අතර පසුව පැමිණි මිචෙල් ස්ටාක් (නොදැවී 54) සහ නේදන් ලයන් (නොදැවී 26) තරගයේ වාසිය එංගලන්තයෙන් ඈතට ඇදගෙන ගියහ.

ටිම් පේන් ලකුණු 49 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවද අතිරේක ක්‍රීඩකයා වූ සෑම් කරන් වෙතින් ගිළිහී ගියේ එංගලන්තයට අවාසනාවන්ත දිනයක් සටහන් කරමිනි.

 

ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම කඩුලු 8 ට 497 යි
(මාකස් හැරිස් 13, මානස් ලැබුස්චේන්ජ් 67, ස්ටීවන් ස්මිත් 211, ට්‍රැවිස් හෙඞ් 19, මැතිව් වේඞ් 16, ටිම් පේන් 58, මිචෙල් ස්ටාක් නොදැවී 54, නේතන් ලයන් නොදැවී 26, ස්ටුවර්ට් බ්‍රෝඞ් 97/3, ජැක් ලීච් 83/2, ක්‍රෙග් ඔවර්ටන් 85/2)

එංගලන්තය   පළමු ඉනිම කඩුලු 1 ක් දැවී 23
(ජෝ බර්න්ස් නොදැවී 15)

..


අදහස් (0)

ස්මිත් ඕස්ට්‍රේලියාව තනි අතින් තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.