Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ථිර වචනයක බලාපොරොත්තු තවත් ඈතට

ස්ථිර වචනයක බලාපොරොත්තු තවත් ඈතට

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම ලබන වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියද ඇතුළුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන පෙළේ තරගාවලි සම්බන්ධයෙන් විවිධ තත්ත්වයන්ට ගැලපෙන ආකාරයේ සැලසුම් සකස් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. බදාදා (10 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව එසේ නිවේදනය කළේය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් අවුල් ජාලයක් බවට පත්වූ අන්තර්ජාතික ක්‍රිකට් කැලැන්ඩරය නැවත සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධක්‍ෂ මණ්ඩලය බදාදා වීඩියෝ දුරකතන ඔස්සේ සම්බන්ධ විය. කෙසේ වෙතත් මෙම සැලසුම් කවර ආකාරයේද යන්න පිළිබඳව ජූලි මාසය දක්වා හෙළිදරව් නොකෙරෙනු ඇත.

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසර සඳහා කල්දමනු ඇති බවට කෙරෙන ඉඟි මෙම රැස්වීමෙන් පසුව තවදුරටත් ඉහළ ගියේය. එහි ප්‍රබලතම සාක්ෂිය වූයේ අයි.පී.එල්. තරගාවලිය මේ වසරේදී කෙසේ හෝ පැවැත්වීමට තමන් සියලු උත්සාහයන් දරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියලුම සාමාජිකයන් වෙත ලිඛිතව දැනුම් දීමයි.

අයි.පී.එල්. තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් එහි අලාභය ඩොලර් මිලියන 550 ක් වන බව කියැවේ.

“අයි.පී.එල්. තරගාවලිය මේ අවුරුද්දේ කොහොම හරි පවත්වන්න අපි සියලුම උත්සාහයන් ගන්නවා. ඒක තියන්නෙ වෙන්නේ ප්‍රේක්ෂකයන් නැති හිස් ක්‍රීඩාංගණවලදී වුණත් අපි ඉදිරියට යනවා” යයි ඉන්දියාවේ එක් එක් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් වෙත, ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා නිර්දේශ මාලාවක් යවමින් සව්රව් ගංගුලි මහතා ලියා තිබිණ.

“ප්‍රේක්‍ෂකයන්, ක්‍රීඩකයන්, තරග විකාශන අයිතිය හිමිකරුවන්, අනුග්‍රාහකයන් මෙන්ම අයි.පී.එල්. තරගාවලියේ සියලුම කොටස්කරුවන් මෙම තරගාවලිය මේ වසරේදී පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා” යයිද ගංගුලි මහතා එහි සඳහන් කර තිබිණ.  

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. එහෙත් දැනට ඇති අනුමාන කිරීම වන්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ මුල් මාස තුනට කල්දමා ඔක්තෝබර් - නොවැම්බර් කාලසීමාව අයි.පී.එල්. තරගාවලිය සඳහා යොදාගැනීමයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරගත් පවතින බැවින් ඔක්තෝබර් - නොවැම්බර් කාලසීමාවේදී අන්තර්ජාතික කණ්ඩායම් 16 ක් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතය. පුහුණු කාර්යමණ්ඩලයද සමග මේ එක කණ්ඩායමකට සාමාජිකයෝ 30 ක් පමණ ඇතුළත් වෙති. එහෙත් සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ඩීන් ජෝන්ස් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සේවක කප්පාදුවද සමගින් ක්‍රීඩකයන් 30 ක් පමණ වන කණ්ඩායම් 16 ක් එකවර හසුරුවා ගැනීම අසීරු බවයි.

අයි.පී.එල්. තරගාවලියට සෘජුවම සම්බන්ධව සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු ලංකාදීපට කියා සිටියේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල්දැමෙන්නේ නම් අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට එය වඩාත් හොඳ අවස්ථාවක් බවයි.

“එතන සති හයක් විතර තියෙනවා. අයි.පී.එල්. තරගාවලියට ඒක හොඳටම ඇති.....අනෙක ලෝක කුසලාන තරගාවලියක අවදානම වැඩියි...”

“ලෝකයේ රටවල් 16 කින් කණ්ඩායම් 16 ක් එන තරගාවලියකට වඩා රටවල් කිහිපයකින් සීමිත ක්‍රීඩකයන් සංඛ්‍යාවක් එන අයි.පී.එල්. තරගාවලියේ තියෙන අවදානම අඩුයි” යයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දිගින් දිගටම කියා සිටින්නේ නියමිත පරිදි විස්සයි-20 තරගාවලිය සංවිධානය කිරීමට තමන් සූදානම් බවයි.


අදහස් (0)

ස්ථිර වචනයක බලාපොරොත්තු තවත් ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.