Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සදාතනික වූ රිචඞ්ස් - බොතම් බන්ධනය

සදාතනික වූ රිචඞ්ස් - බොතම් බන්ධනය

editorial - 2020 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඇමරිකානු පොලිස් නිලධාරියකු විසින් අප්‍රිකානු සම්භවයක් ඇති කළු ඇමරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් පසුගිය මැයි මාසයේදී මරා දැමීමෙන් පසුව කළු ජාතිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් මීට වඩා වගකීම් සහගත විය යුතුය යන මතවාදය රැල්ලක් මෙන් ලොව පුරා පැතිරී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් “බ්ලැක් ලයිව්ස් මැටර්” (බී.එල්.එම්) හෙවත් කළු ජාතිකයන්ගේ ජීවිතත් වටිනවා යන්න ලෝකය පුරා පැතිර ගිය නවතම මතවාදය විය. 

සිම්බාබ්වේ පිලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයයකු  වූ පොමී මබන්ග්වා සහ දකුණු අප්‍රිකානු පිලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුද මෙම මතවාදයට එක්වූ අතර එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙරම එංගලන්ත නායක ජෝ රූට්ද සුදු ජාතිකයකු වශයෙන් ‘බී.එල්.එම්’ ව්‍යාපාරයට සහයෝගය දැක්වීය. 

බාර්බඩෝස්හිදී උපත ලද ජොෆ්රා ආචර් හැරුණු විට සුදු ජාතිකයන් සපිරි එංගලන්ත කණ්ඩායමත් සම්පූර්ණයෙන්ම කළු ජාතිකයන්ගෙන් සැදුම් ලත් බටහිර ඉන්දීය කොදෙව් පිලත් අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වූයේ දෙපිලේම ක්‍රීඩකයන් පිටිය මැදදී විනාඩියක කාලයක් දණ බිම ඔබාගෙන සිටීමෙනි. ඊට හේතුව වූයේ ඇමරිකානු පොලිස් නිලධාරියා විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් මරා දමන ලද්දේ විනාඩි 9 කට වැඩි කාලයක් සිය දණහිසෙන් ෆ්ලොයිඞ්ගේ ගෙල සිරකරගෙන සිටීමෙන් වන බැවිනි. 

මීට දශක හතරකට පමණ ඉහත, කළු - සුදු භේදය තදින්ම ක්‍රියාත්මක වූ වකවානුවකදී, එංගලන්ත පිලේ සුපිරි තරුව වූ ඉයන් බොතම් සිය ප්‍රාණ සම මිතුරා ලෙසින් තෝරාගත්තේ කළු ජාතිකයෙකි. විවියන් ඇලෙක්සැන්ඩර් රිචඞ්ස් නම් වූ ඔහුගෙන් ටෙස්ට් පිටියේදී කෙතරම් තදින් පහර කා ඇති නමුත් බොතම් - රිචඞ්ස් මිත්‍රත්වය එන්න එන්නම දළු ලෑවේය. 

එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත පිල වෙනුවෙන් එකට ක්‍රීඩා කළ බොතම් සහ රිචඞ්ස් කලක් එකම නිවෙසක එක්ව විසූහ. 

රිචඞ්ස් - බොතම් මිත්‍රත්වය යළිත් කරළියට එන්නේ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණය නිසා ඇතිවූ කැළඹීම හෙවත් ‘බී.එල්.එම්’ ව්‍යාපාරය නිසා නොවේ. බටහිර ඉන්දීය පිලත් එංගලන්තයත් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ‘විස්ඩන්’ කුසලානය ‘රිචඞ්ස් - බොතම්’ කුසලාන ලෙසින් යළි නම්කිරීමත් සමගිනි. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම කැපවූ ලොව ප්‍රථම වාර්ෂික ප්‍රකාශනය වන විස්ඩන් සඟරාවේ 100 වැනි එළිදැක්වීම සැමරීම සඳහා 1963 දී ප්‍රථම වරට විස්ඩන් කුසලානය ප්‍රදානය කරන ලදී. දැන් පැවැත්වෙන තරගාවලියෙන් පසුව විස්ඩන් කුසලානය ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනය කෙරෙනු ඇත. 

එතැන් සිට කතා වෙන්නේ රිචඞ්ස් - බොතම් කුසලානය ගැනයි. තවත් දශක ගණනාවක් ගියද රිචඞ්ස් - බොතම් බන්ධනය ගැන ක්‍රිකට් ලෝකයා කතාබහ කරනු ඇත. 

අඩ සියවසකට ආසන්න කාලයක් පැවැති ‘විස්ඩන්’ කුසලානය යළි නම්කෙරෙන්නේද ඊට සුදුසුම වේලාවකදීය. මෙම කුසලානය යළි නම් කළ යුතු බවත්, විස්ඩන් ක්‍රිකට් වාර්ෂිකයේ නිර්මාතෘ ජෝන් විස්ඩන් එංගලන්තයේ ප්‍රාන්ත තරග වෙනුවෙන් ක්‍රීඩා කළා මිස එංගලන්ත - කොදෙව් තරගාවලිය වෙනුවෙන් කළ දෙයක් නැති බවත් පෙන්වා දෙන ලද්දේ එංගලන්ත පිලේම හිටපු නායකයකු මෙන්ම මේ වන විට සුප්‍රකට විස්තර විචාරයකයකු ලෙසින් කටයුතු කරන මයිකල් ඇතර්ටන් විසිනි. 

කෙසේ වෙතත් විස්ඩන් කුසලානයට තවත් නමක් සෙවීමේදී එංගලන්ත මෙන්ම බටහිර ඉන්දීය දූපත් ක්‍රිකට් පාලක මණ්ඩල වලින් කරනු ලැබ ඇත්තේ අති විශිෂ්ට තේරීමකි. මක්නිසාද යත් ශ්‍රීමත් ඉයන් බොතම් මෙන්ම ශ්‍රීමත් විවියන් රිචඞ්ස් දෙදෙනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයන් මෙන්ම අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ සමීප මිතුරන්ද වන බැවිනි. 

රිචඞ්ස් සහ බොතම් දෙදෙනා ටෙස්ට් තරග 223 කදී, ලකුණු 13,740 ක් රැස්කරගෙන තිබෙන අතර දවාගත් කඩුලු සංඛ්‍යාව 415 කි. බොතම් වරක් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව දවාගනිමින් ලෝක වාර්තාව හිමිකරගත් ක්‍රීඩකයාය. 

ඉයන් බොතම් 64 හැවිරිදිය.  විවියන් රිචඞ්ස් 68 හැවිරිදිය. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයා, රිචඞ්ස්ගේ ගෞරවය හා සදාකාලික මිත්‍රත්වය දිනාගන්නේ කල්ලෙකු හා ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් වෛරී සහගත ලිපියක් ලැබුණද බොතම් කිසි විටෙකත් සිය මිතුරාට පිටු නොපෑ බැවිනි. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය එතරම් දැඩි විය.  

“මම මා ගැන තරමටම විව් වෙනුවෙනුත් සතුටු වෙනවා... ඔහු මා මෙතෙක් පන්දු යැවූ හොඳම පිතිකරුවායි... ඒ වගේම ක්‍රීඩාවේ සෑම ආකෘතියකින්ම ඔහු හොඳම ක්‍රීඩකයාත් වෙනවා” යයි කොදෙව් - එංගලන්ත තරගාවලිය වෙනුවෙන් පිරිනැමෙන කුසලානය සඳහා තමාගේත් මිත්‍රයාගේත් නම් තෝරාගැනීමෙන් පසුව බීබීසී ටෙස්ට් මැච් ස්පෙෂල් ගුවන් විදුලි සේවයේ ඊසා ගුහා සමඟ අදහස් දක්වමින් ශ්‍රීමත් ඉයන් බොතම් කියා සිටියේය. 

“මම එංගලන්තයට පැමිණි අවස්ථාවලදී ඉයන් මට විශාල පිළිගැනීමක් ලබා දුන්නා. ඉතාමත් සාදරයෙන් මාව පිළිගත්තා” රිචඞ්ස් පැවසීය.

“ලොව පුරා විපරීත පුද්ගලයන් සිටිය හැකියි. ඒත් සෑම කෙනෙකුම මෙම (කළු) වර්ණය අගය කරන්නේ නැතිවෙන්න පුළුවන්....ඒත් ඉයන් මාව මිතුරෙකු ලෙස බාරගත්තා.... ඒ කාලයේදී අපි ලෝකයට විශාල පණිවිඩයක් යැව්වා. විවිධ ජාතීන්ට අයත් දෙදෙනෙකුට එකට තරඟ කළ හැකි බවත්, එකට ජීවත් විය හැකි බවත්, හොඳ දේවල් එකට බෙදා ගත හැකි බවත් අපි දෙන්නා ලෝකයාට පෙන්වා දුන්නා” යයි විව් රිචඞ්ස් පැවසීය. 

“මට ඉයන්ට කිව හැක්කේ කුමක්ද ? හැම වෙලාවේදීම ඔහු මා සමග සිටීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙන්න පුළුවන්....අපි නියෝජනය කළේ මිනිසුන් නියෝජනය කළ යුතු යැයි මා සිතන දෙයයි. අපි සියල්ලෝම මනුෂ්‍යයන්. වඩාත්ම වැදගත් දේ ඒකයි” යයි රිචර්ඞ්ස් ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසීය.

වර්ණභේදවාදය හේතුවෙන් 1980 දශකයේදී දකුණු අප්‍රිකාව සමග තිබූ ක්‍රීඩා සම්බන්ධතා අහෝසි කර දමා තිබිණ. එය බොතම්ගේ මෙන්ම රිචඞ්ස්ගේත් දස්කම් වල උච්චතම කාලය විය. එබැවින් දකුණු අප්‍රිකානුවෝ බොතම් මෙන්ම රිචඞ්ස්ද දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ගෙන්වා ගැනීමට පෙළඹවීම කළහ. එහෙත් ඊට නැමුණේ බොතම් හෝ රිචර්ඞ්ස් නොවේ. 

වර්ණ භේදවාදයේ අඳුරට ගොදුරු වූ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම බොතම් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් එංගලන්ත ක්‍රීඩකයන් වූ මයික් ගැටිං, ජෝන් එම්බියුරි සහ ග්‍රැහැම් ගූච් මුදලට ක්‍රීඩා කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ගියහ. කොදෙව් කණ්ඩායමක්ද දකුණු අප්‍රිකාවට ගියේය. එහෙත් බොතම් මෙන්ම රිචඞ්ස්ද තමන්ගේ ස්ථාවරයේ නොසැලී සිටියහ. 

“අපි ඔබව ගෞරවනීය සුදු මිනිසෙකු කරනවා” යයි සුදු ජාතිකයෝ පිරිසක් රිචඞ්ස්ට කීවෝය. එහෙත් ඉයන් ඊට හරස් වූයේය. 

“පොඞ්ඩක් ඉන්න,... මේ කොහෙද යන්නේ”බොතම් ඬේලි මේල් පුවත්පතට පැවසුවේ සම්මුඛ සාකච්ඡාවකදීය.

“ඔහු කළුයි... ඔහු ආඩම්බරයි..., විශිෂ්ටයි, ඔහු නියම මිනිහෙක්.... ගෞරවනීය කළු මිනිසෙකු වීමට මට ඕනෑ නෑ වගේම ගෞරවනීය සුදු මිනිසෙකු වෙන්න ඔහුටත් ඕනකමක් නෑ” යයි බොතම් ගෝරනාඩු කළේය. ක්‍රීඩා කරන කාලයේදී බොතම්ගේ සුරතල් නාමය වූයේ “ගෝරිල්ලා කොල්ලා” යන්නයි. 

සියලුම ජීවීන් එක හා සමානව වැදගත් යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රීමත් විවියන් රිචර්ඞ්ස් සිය සහෘදයා වූ ඉයන් බොතම් සමඟ එකඟ විය. 

පසුගිය මැයි මාසයේදී නිරායුධ අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් මිනියාපොලිස් නගරයේදී පොලිස් නිලධාරීන් අතින් මිය යාමෙන් උපත ලද බ්ලැක් ලයිව්ස් මැටර් හෙවත් බී.එල්.එම්. ව්‍යාපාරය ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව රිචඞ්ස් මෙන්ම බොතම්ද කියති. 

“සියලු ජීවිත එකවාගේම වැදගත් යැයි ඉයන් පවසන විට මම ඔහු සමඟ එකඟ වෙනවා”

“ඇමරිකාවේ සිදු වූ සිදුවීම් නිසා එය දැන් ඉස්මතු වී තියෙනවා. ඒ අපගේ වර්ණය කෙරෙහි ඇති වෛරය නිසායි.....අප අතර එකිනෙකාට ගෞරවයක් තිබේ නම්, මේ දේවල් කරළියට එන්නේ නෑ” යයි කී ශ්‍රීමත් විවියන් රිචඞ්ස්...

“කොරෝනා වයිරසය දෙස බලන්න.... එය අපට පාලනය කළ නොහැකියි”

“මේ කොරෝන වයිරසය සෑම කෙනෙකුටම පහර දෙනවා.. එතැනදී කළු හෝ සුදු කියා වෙනසක් නෑ... සෑම ජාතියකටම සහ පෘථිවියේ සෑම රටකටම මේ කොරෝනා වයිරසයේ පහර වදිනවා”

“දැන් අපි සියල්ලෝම වාඩි වී අපි ඉන්නේ කොහේද කියා මෙනෙහි කළ යුතුයි” යයිද ශ්‍රීමත් විවියන් රිචඞ්ස් පැවසීය. 
-------------------

 


අදහස් (1)

සදාතනික වූ රිචඞ්ස් - බොතම් බන්ධනය
  • Dr. Lakshman Fernando Sunday, 09 May 2021 11:24 AM

    ශ්‍රේෂ්ඨ මිනිසුන්... සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.