Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකීබ් - දාස් බංග්ලාදේශය දිනවති

සකීබ් - දාස් බංග්ලාදේශය දිනවති

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

සකීබ් අල් හසන් සහ ලිටන් දාස් එක්ව ගොඩනැගූ වාර්ගත සම්බන්ධතාව හමුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස බංග්ලාදේශයට එරෙහිව ටෝන්ටන්හිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 41.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් සකීබ් අල් හසන්, පන්දු 99 කදී හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 124 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් දැමූ සකීබ්, ලිටන් දාස් (නොදැවී 94) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 189 ක වාර්තාගත නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

තරමක මන්දගාමී ආරම්භයක් ලබාගත් ලිටන් දාස්, ක්‍රම ක්‍රමයෙන් සිය ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් පන්දු 69 කදී ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි. ඊට ශැනන් ගේබි්‍රයෙල්ගේ පන්දු හමුවේ පිට පිටම එල්ල කළ හයේ පහර 3 ක්ද අන්තර්ගත විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 53 කට මුහුණදී සිටි ටමීම්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා තරග 4 කට සහභාගි වී සිටින සකීබ්, එහිදී අර්ධ ශතක 2 ක් සහ ශතක 2 ක් සමගින් ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 384 කි. මෙම තරගය ආරම්භ වීමට පෙර තරග 3 කදී ලකුණු 260 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවූ ඔහු, තරගය නිමාවීමෙන් අනතුරුව එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමටද සමත් විය.

මෙම තරගයේදී ලබාගත් ශතකයත් සමග එක්දින තරග 2 කදී පිට පිට ශතක ලබාගත් සිවුවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත් වූ සකීබ්, එදා මෙදා තුර ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ බංග්ලාදේශ පිතිකරුවා ලෙසද වාර්තා අතරට එක්විය.

සකීබ්ට පෙර ශරියර් නෆීස් (2006), මහමදුල්ලා රියාද් (2015) සහ ටමීම් ඉක්බාල් (2015) බංග්ලාදේශය වෙනුවෙන් පිට පිටම ශතක ලබා සිටි අතර මහමදුල්ලා 2015 ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ ලකුණු 365 මේ දක්වා බංග්ලාදෙශ පිතිකරුවකු ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබිණ.

ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු නොළබාම දැවී ගියද, කණ්ඩායමේ බර සිය කර මතට ගත් ශායි හෝප්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ හෝප් පන්දු 121 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 96 ක් රැස්කරමින් කොදෙව් ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.

කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි හෝප්, 46 වැනි ඕවරයේදී දැවීයන විට කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 297 ක් බවට පත් වී තිබිණ. එවින් ලුවිස් (70) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් පිහිටවූ හෝප්, ඉන් නොනැවතී නිකලස් පූරන් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක්ද පිහිටුවමින් කොදෙව් ඉනිම ගොඩනැගුවේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ හැට්මෙයර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 26 කදී සිය දෙවැනි එක්දින අර්ධ ලබාගත් අතර පන්දු 67 කට මුහුණදුන් ලුවිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය තෙවැනි එක්දින අර්ධ ශතකය අලංකාර කළේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 15 කට මුහුණදුන් නායක ජේසන් හෝල්ඩර් පන්දු 15 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී මුස්තෆිසුර් රෙහෙමාන් සහ මොහොමඞ් ශයිෆුඩීන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් කොදෙව් පිතිකරුවන් අසරණ කිරීමට සමත් වූහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 321
(එවින් ලුවිස් 70, ශායි හෝප් 96, නිකලස් පූරන් 25, ශිම්රන් හැට්මෙයර් 50, ජේසන් හෝල්ඩර් 33, ඩැරන් බ්‍රවෝ 19, මුස්තෆිසුර් රෙහෙමාන් 59/3, මොහොමඞ් ශයිෆුඩීන් 72/3, සකීබ් අල් හසන් 54/2)

බංග්ලාදේශ පිල - ඕවර 41.3 කදී කඩුලු 3 ක් දැවී 322
(ටමීම් ඉක්බාල් 48, සෞම්‍ය සාකර් 29, සකීබ් අල් හසන් නොදැවී 124, ලිටන් දාස් නොදැවී 94)

 

 

 


අදහස් (0)

සකීබ් - දාස් බංග්ලාදේශය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.