Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂෙහාන් - අසිත මූලික සංචිතයට එක්වෙති

ෂෙහාන් - අසිත මූලික සංචිතයට එක්වෙති

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 22 දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයට තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ෂෙහාන් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු කැඳවා සිටිති. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය කාල වකවානුව තුළදී දැක්වූ දස්කම්, ශ්‍රී ලංකා සංචිතයට පැමිණීම සඳහා ඔවුන්ට උපකාරී වී තිබේ.

මේ දක්වා පළමු පෙළ තරග 73 කට ක්‍රීඩා කර ඇති ෂෙහාන්, ඉනිම් 125 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 30 ක් සමග ලකුණු 4969 ක් රැස්කරගෙන ඇති අතර පිට දඟ පන්දු යවන්නකු වශයෙන් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 179 කි. ඊට කඩුලු 10 බැගින් දවාගත් අවස්ථාවක් සහ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 9 ක් ඇතුළත් වේ. වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු පළමු පෙළ තරග 25 කදී කඩුලු 64 ක් බිඳහෙලීමට සමත්ව ඇත්තේ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 3 ක්ද සමගිනි.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි මිලින්ද සිරිවර්ධන සහ මොහොමඞ් ශිරාස් මෙම තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයෙන් ඉවත් කර තිබේ. දකුණු අප්‍රිකානු තරගාවලිට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියද, එහිදී මිලින්දට සහ ශිරාස්ට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවීය.
දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගි නොවූ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයෝ නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටිති. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත අවසන් සංචිතයක් ඉදිරියේදී නම් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 22 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු

-036


අදහස් (0)

ෂෙහාන් - අසිත මූලික සංචිතයට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.