Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලාංකිකයෝ විපරීත විසඳුම ගෙනෙති

ශ්‍රී ලාංකිකයෝ විපරීත විසඳුම ගෙනෙති

editorial - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම : දමින්ද විජේසූරිය)

මොයින් අලීගේ පිත්තෙන් පහර කෑ පන්දුව නරඹන්නන් සොයා ඇදී යද්දී හතරේ සීමාව ආසන්නයේ සිටි ඉසුරු උදාන පන්දුවේ එල්ලී එය ඩැහැගත්තේය. 2019 ලෝක කුසලාන තරගාවලියේ විචාරකයන් සොයමින් සිටි ‘විපරීත විසඳුම’ හෙවත් අපේක්‍ෂාව උඩුයටිකුරු වීමේ හැරවුම් ලක්ෂය එය විය. ටෙස්ට් වරම් නොලද රටක් වශයෙන් ඉන්දියාව පරාජය කළ 1979 තරගාවලියේ සිටම ලෝක කුසලාන තරග වලදී විපරීත විසඳුම් දීමට ශ්‍රී ලංකාව දැක්වූයේ සුවිශේෂී සමත්කමකි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් වූ මොයින් අලී, ක්‍රිස් වෝක්ස් සහ අදිල් රෂීඞ් තිදෙනාම පන්දු 8 ඇතුළතදී ආපසු ක්‍රීඩාගාරයට යැවූ ධනංජය ද සිල්වා මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙසින් නම්දරා සිටි එංගලන්තය පරදවා ලකුණු 20 ක අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නේය.

එංගලන්තයේ ලීඞ්ස් නුවර, හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් පමණි. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත සෙවණැල්ලේ පැවැත්වෙන වර්තමාන එක්දින අන්තර්ජාතික තරගයක ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවූවද උත්සාහය අත් නොහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලෝක කුසලාන තරගයකදී එංගලන්තය හමුවේ පරාජය නොවී වසර 12 ක් පුරා රැකගත් වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන ගියහ.

ඉනිමේ දෙවැනි පන්දුවේදීම ජොනී බෙයාර්ස්ටෝ පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට දුන්නේ කදිම ආරම්භයකි. සිය පළමු ඕවර 5 දී එංගලන්ත පිතිකරුවන් ලකුණු 27 කට සීමා කළ මෙම සටන්කාමී පන්දු යවන්නා විසින් යවන ලද මුල්ම පන්දු 30 න් පන්දු 19 ක් නිලකුණු පන්දු විය. ලෝක කුසලාන තරග වලදී කඩුලු 50 කඩයිම පසුකරගිය සිව්වැනි ක්‍රීඩකයා ද වූ ලසිත් මාලිංගට වඩා සාර්ථක වූ පන්දු යවන්නන් වනුයේ ඕස්ටේ්‍රලියාවේ ග්ලෙන් මැග්‍රාත් (71), මුත්තයියා මුරලිදරන් (68) සහ වසිම් අක්රම් (55) පමණි.

එංගලන්ත පිලේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් අවසන් පිතිකරුවා වූ ජොෆ්රා ආචර් ලකුණු 189 දී දැවී යාමත් සමගම සත්කාරකයන්ගේ බලාපොරොත්තු සියල්ලම අවසන් වූවත් බෙන් ස්ටෝක්ස් වෙනත් අදහසක් දැරුවේය. තනිවම හෝ ඉතිරි ලකුණු 44 ලබාගැනීමට ඉදිරිපත් වූ වමත් පිතිකරුවා පන්දු 10 කදී ලකණු 24 ක් ලබාගත් නමුත් මාක් වුඞ්ගේ පිත්තේ පිටත දාරය  සොයාගත් නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

අලංකාර පහර රැසකින් සිය සිය මංගල ලෝක කුසලාන තරගය සැමරූ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද ශ්‍රී ලංකා කණ්ඩායම මහත් බලාපොරොත්තු සහගතව සිටි ආත්ම විශ්වාසය කණ්ඩායමේ සෙසු පිතිකරුවන් තුළට එන්නත් කළේය. පන්දු 39 කට පමණක් මුහුණ දුන් මෙම කෝඩුකාරයාගේ වික්‍රමාන්විත ඉනිම හේතුවෙන් කඩුලු 2 කට ලකුණු 03 ක් වී තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට 62 ක් සේ වෙනස් විය.

විවේචකයක් කුමක් කීවද තමන්ට කළහැකි දේ මේ යයි කදිමට කියා දුන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේ පන්දු 115 කින් හයක් හතරේ සීමාවෙන් එපිටට යවමිනි. ඒවායින් එකක් නරඹන්නන් අතර පතිත විය.

ඕවර 3 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියදීත්, තමන්ගේ පාසලට යාබද පාසලෙන් කණ්ඩායමට ආ නවකයා දෙස කුසල් මෙන්ඩිස් විහිදුනු දෑසින් බලා සිටියේය. අවිශ්ක පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරයෙන් අවශ්‍ය ධෛර්යය උපදවා ගත් අංක 4 පිතිකරු කුසල් මෙන්ඩිස් සිය අත දිගහැරියේය. ප්‍රතිඵලය වූයේ මොරටුවේ පිතිකරුවන් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවකි.

මෙම ලකණු 59 න් 49 ක් ම අවිශ්ක ප්‍රනාන්දු සතුවිය. චිත්තාකර්ශනීය හතරේ පහර 6 කින් සහ මන රංජනීය හයේ පහර දෙකකින් පන්දුව නරඹන්නන් අතරට යැවූ අවිශ්ක, මුලු ලකුණු සංඛ්‍යාව 62 ක්ව තිබියදී, දැවී යන විට පන්දු 24 කට මුහුණ දී සිටි කුසල් මෙන්ඩිස් ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. මෙය අවිශ්කගේ හත්වැනි එක්දින තරගයයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කිසිම පැකිලීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් කණ්ඩාමට ලැබුණේ භයංකාර ආරම්භයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් සාර්ථක පන්දු යවන්නකු වී සිටින ජොෆ්රා ආචර්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුව දිමුත්ගේ පිත්තේ ඉහළ කොටසේ ගෑවී කඩුලු රකින්නා අත පත්විය. දිමුත්ගේ ඉවත්ව යාමත් කුෂල් පෙරේරාගේ දැවී යාමත් අතර පරතරය පන්දු දෙකක් පමණි.

හුක් පහරකින් ලබාගත් ලකුණු 6 ක්ද සමගින් ජොෆ්රා ආචර්ගේ ඕවරයකින් ලකුණු 14 ක් උදුරාගත් අවිශ්ක බෙන් ස්ටෝක්ස්ට සැලකුවේත් එපරිද්දෙනි. ඉනිමේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට අවිශ්ක ගැසූ හුක් පහරකින් පන්දුව ක්‍රීඩාංගණයෙන් ඉවත පතිත වීම නිසා විනිසුරුවරුන්ට වෙනත් පන්දුවක් යොදාගැනීමට සිදුවිය. අත්දැකීම් මඳ බව නිසාම තම ඉනිමේ වේගය පාලනය කරගැනීමට නොදැන සිටි අවිශ්ක මාක් වුඞ්ගේ උගුලට හසුවූයේ ඩීප් තර්ඞ්මෑන් හි සිටි අදල් රෂීඞ්ට උඩපන්දුවක් තිළිණ කරමිනි.

අවිශ්ක නතර කළ තැනින් ආරම්භ කළ කුසල් මෙන්ඩිස් සිය ජ්‍යෙෂ්ඨ නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගෙඩනංවා තිබියදී අදිල් රෂීඞ්ගේ අති විශිෂ්ට උඩපන්දුවක ගොදුරක් වූයේය.

ඇන්ජලෝ මැතිව්ස් වැඩ ඇල්ලූයේ එතැනිනි.

ලකුණු 25 ක් ලබාගැනීමට මුහුණ දුන් පන්දු 54 න් 33 ක් නිලකුණු පන්දු ලෙසින් සටහන් වූවද මැතිව්ස් එතැන් සිට අර්ධ ශතකය දක්වා ගිය ලකුණු 25 ට වැය කළේ පන්දු 30 ක් පමණි. අර්ධ ශතකයේ සිට ඉනිම අවසන් වන තුරු මුහුණ දුන් පන්දු පන්දු 31 කින් ලකුණු 35 ක් ලබාගත් හිටපු නායකයා අවසන් ඕවරයේදී ජොෆ්රා ආචර් හමුවේ අලංකාර හයේ පහරකින් නරඹන්නන් අතරට පන්දුව යැවීය.

එංගලන්ත පිල වෙනුවෙන් පන්දු යවන්නන් හත් දෙනකු යොදාගත් නමුත් ඔවන් මනා ලෙෂ මෙහෙය වීමට නායක ඔයින් මෝගන් සමත්වූයේය. මෝගන්ගේ පන්දු රකින්නන් ස්ථානගත කිරීම කොයිතරම් දුරට සාර්ථක වූයේද යත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 300 න් පන්දු 156 ක් ම නිලකුණු පන්දු විය. අඩුතරමේ මෙම පන්දු 156 න් පන්දු 75 කට එක ලකුණක් බැගින් ලබාගත්තේ නම් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 ඉක්මන්නට තිබිණ.

 

..


අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ විපරීත විසඳුම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.