Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර අපිටත් තීරණාත්මක වගකීමක් තියෙනවා

ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර අපිටත් තීරණාත්මක වගකීමක් තියෙනවා

editorial - 2020 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලා සිටීමේ ප්‍රතිපත්තියක් තමන් අනුගමනය කරන බවත්, බංග්ලාදේශය ප්‍රමුඛතාවය ලබාදෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි සඳහා මිස  ද්විපාර්ශ්වික තරගාවලි සඳහා නොවන බවත් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා පැවසයි.  බංග්ලාදේශ ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් නස්මුල් හසන් මහතා එසේ පවසා තිබේ.

මේ වසරේ ජූලි 16 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා මෙසේ පැවසීය.

“ඔවුන්ට සත්කාරකත්වය සැපයීමට අවශ්‍ය බව ශ්‍රී ලංකාව කියලා තියෙනවා. ඒත් එය ඔවුන්ගේ කැමැත්ත මත පමණක් රඳා පවතින්නේ නැහැ...මේ වෙලාවේ අපිත් තීරණාත්මක තීන්දු රාශියක් ගත යුතුයි...”
“ක්‍රීඩකයන් ගමන් කරන්නේ කෙහොමද, ඔවුන් රැඳී සිටින්නේ කොහේද වගේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍යයි. සියල්ල අවසානයේ අපට ක්‍රීඩකයන් එහි යැවීමට වගේම එසේ නොකර සිටීමටද හැකියාව තිබෙනවා.” යැයි නස්මුල් මහතා කියා සිටියේය.

මේ වන විට ක්‍රිකට් ලෝකය පුරා පවතින තතත්වය අනුව කොවිඞ් වසංගතයෙන් පසුව පළමුවෙන්ම ආරම්භ වන්නේ කිනම් තරගාවලියද යන්න කිසිවකුට ස්ථිර වශයෙන් කිව නොහැකි තත්ත්වයක් තිබේ. ලෝකයේ සෑම රටකම දේශීය, අන්තර්ජාතික මෙන්ම ද්වි පාර්ශ්වික තරගාවලිත් කල්දමා ඇත. ටෙස්ට් ලෝක ශූරතාවලියද එකතැන නතර වී තිබේ.

“කොහොමද අපි සාකච්ඡා කරන්නේ..? ක්‍රීඩා කිරීම ආරම්භ කරන්නේ කවදාද,,? එය ජූලි හෝ අගෝස්තු මාසවලදී සිදුවේවිද වගේ ප්‍රශ්න වලට ස්ථිර පිළිතුරක් දෙන්න මට බැහැ”

“මේ වෙලාවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ ආසියානු ක්‍රිකට් සභාව කරන්නේ මොකක්ද කියලා අපි බලන් ඉන්නවා. තරග ආරම්භ වෙන්නේ කවදාද කියලා ඔවුන් කාටවත් මේ වෙනකන් හරියට කියන්න බැරි වෙලා තියෙනවා. අපි නම් හිතන්නේ මේ අවස්ථාවේදී ඔවුන් නිහඬව සිටීම වැරදියි කියලයි” යැයිද නස්මුල් හසන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ තත්ත්වය හොඳ අතට හැරෙමින් පැවතීම හේතුවෙන් ජුනි මස මුල සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටී. ඇරත් ජුනි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය හෝ ජූලි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරාගවලිය කල් දැමුණු බවක් කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයකින් තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත.

එහෙත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ ස්ථාන වල පවතින බිය මෙන්ම සැක සංකාද එකිනෙකට වෙනස් වෙයි.

“මෙම වයිරසය පැතිරීම නැවත නැවත සිදුවන වන නිසා අද ආරක්ෂිත ස්ථානයක් පවා හෙට අනාරක්ෂිත වේවි. එය අවසන් වන්නේ කවදාද කියලා කාටවත්ම කියන්න බැහැ. ඉදිරියේදී තත්ත්වය කුමක් වේදැද කියලා අපිට පුරෝකථනය කරන්නත් බැහැ” යැයි  නස්මුල් මහතා පැවසීය.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සියලුම පාර්ශවකරුවෝ සහ අනුබද්ධ සාමාජික මණ්ඩලයේ නියෝජිතයෝ මැයි මස 28 වැනිදා අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටිති. ජාත්‍යන්තර තරගාවලි කාල සටහන නැවත සකස් කිරීම එම රැස්වීමේ ප්‍රධාන ඉලක්කය වනු ඇතැයිද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

“දැන් සාකච්ඡා පැවැත්වෙන්නේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නැවත සැලසුම් කිරීම ගැනයි. මෙම අවාසනාවන්ත තත්ත්වය තුළ ද්විපාර්ශ්වික තරගාවලි ගැන යමක් කීම අපහසුයි. එය ඉතා සංකීර්ණ කාර්යයක්”

“කොහොම වුණත් තත්ත්වය හැම කෙනෙකුටම එක හා සමානයි. පෙර කාලසටහනේ තිබූ තරගාවලි අතරින් වැඩි ප්‍රමාණයක් නව කාලසටහනටත් ඇතුළත් කර ගැනීමට අපි හැකි උපරිම උත්සාහ දරනවා.” යැයි හෙතෙම අවධාරණය කළේය.

 

-036


අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර අපිටත් තීරණාත්මක වගකීමක් තියෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.