Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති

ශ්‍රී ලංකාවේ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති

Nisanka Sandeepani - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අකිල ධනංජයගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ එක තැන ඇද වැටුණු ඉනිමට තනිවම උරදුන් මහේන්ද්‍ර සිං දෝනි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 3 ක ජයක් කරා ඉන්දීය කණ්ඩායම ඇදගෙන ගියේය.

ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල  - ඇ.ධවාන් ප.බුම්රා 31
ධනුෂ්ක ගුණතිලක - ස්ට.දෝනි ප.චාහල් 19
කුසල් මෙන්ඩිස්  - ක.මු.කළා ප.චාහල් 19
උපුල් තරංග - ඇ.කෝලි ප.පාණ්ඩ්‍යා 9
ඇන්ජලෝ මැතිව්ස්  - ක.මු.කළ ප.පතෙල් 20
මිලින්ද සිරිවර්ධන - ඇ.ෂර්මා ප.බුම්රා 58
චාමර කපුගෙදර - ප.බුම්රා 40
අකිල ධනංජය - ඇ.පතෙල් ප.බුම්රා 9
දුෂ්මන්ත චමීර - නොදැවී  6
විශ්ව ප්‍රනාන්දු - නොදැවී  3
අතිරේක 22
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී  236
කඩුලු වැටීම 
1-41(දික්වැල්ල), 2-70(ගුණතිලක), 3-81(තරංග), 4-99(මෙන්ඩිස්), 5-121(මැතිව්ස්), 6-212(සිරිවර්ධන), 7-221(කපුගෙදර), 8-230(ධනංජය)
පන්දු යැවීම
බුවනේෂ්වර් කුමාර් 10-0-53-0  
ජස්ප්‍රීට් බුම්රා 10-2-43-4  
යුස්වේන්ද්‍ර චහාල් 10-1-43-2  
හර්දික් පාණ්ඩ්‍යා 5.2-0-24-1  
අක්ෂර් පතෙල් 10-0-30-1  
කේදර් ජාදව් 4.4-0-32-0  
ඉන්දියාව
රෝහිත් ෂර්මා  - ක.මු.කළා ප.ධනංජය 54
ෂිකාර් ධවාන්  - ඇ.මැතිව්ස් ප.සිරිවර්ධන 49
ලෝකේෂ් රාහුල්  - ප.ධනංජය 4
කේදර් ජාදව් - ප.ධනංජය 1
විරාට් කෝලි - ප.ධනංජය 4
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී  45
හර්දික් පාණ්ඩ්‍යා - ස්ට.දික්වැල්ල ප.ධනංජය 0
අක්ෂර් පතෙල් - ක.මු.කළා ප.ධනංජය 6
බුවනේෂ්වර් කුමාර් - නොදැවී  53
අතිරේක 15
එකතුව ඕවර 44.2  කදී සියලු දෙනා දැවී  231
 කඩුලු වැටීම 
1-109(ෂර්මා), 2-113(ධවාන්), 3-114(ජාදව්), 4-118(කෝලි), 5-119(රාහුල්), 6-121(පාණ්ඩ්‍යා), 7-131(පතෙල්)
පන්දු යැවීම 
ලසිත් මාලිංග 8-0-49-0  
විශ්ව ප්‍රනාන්දු 6.2-0-32-0  
ඇන්ජලෝ මැතිව්ස් 3-0-11-0  
දුෂ්මන්ත චමීර 7-0-45-0  
අකිල ධනංජය 10-0-54-6  
මිලින්ද සිරිවර්ධන 10-0-39-1  
තරගයේ වීරයා  - අකිල ධනංජය

දෝනිට අගනා සහයක් දුන් බුවනේෂ්වර් කුමාර් නොදැවී ලකුණු 53 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත පොවන මානයේ තිබූ ජය උදුරා ගත්තේය.

ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටියදී හත්වැනි කඩුල්ලත් ලකුණු 131 දී ඇද වැටුණ නමුත් බුවනේෂ්වර් කුමාර් සමගින් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඉන්දීය පිලේ හිටපු නායකයා  තමන්ගේ අවසන් ශ්‍රී ලංකා සංචාරයේ අමතක නොවන මතක සටහනක් රැගෙන ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ නෙත් කඳුලින් තෙත් කරමිනි. මෙම ජයත් සමගින් ඉන්දීය පිල 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.

ඉන්දීය පිතිකරුවන් යමින් සිටියේ පහසු ගමනකි. ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව, ඉනිමේ 12 වැනි ඕවරයේදී පන්දුව බාරගත් අකිල ධනංජය ෂර්මාගේ ගමන නතර කළේය. මිලින්ද සිරිවර්ධන යැවූ ඊළඟ ඕවරයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් ෂිකාර් ධවාන් පිටියෙන් ඉවත් විය.

අංක 3 පිතිකරු ලෙසින් වෙනදා පිටියට එන විරාට් කෝලි තේ කෝප්පයක් රස විඳිමින් සිටියදී පිටියට පැමිණි කේදර් ජාදව් මුහුණ දුන් තුන්වැනි පන්දුව කඩුල්ල සොයා ඇදී ගියේය. එතැන් සිට තිබුණේ සැබෑ නාට්‍යයකි. විරාට් කෝලි, ලෝකේෂ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා සහ අක්ෂර් පතෙල් එක පෙළට දැවී ගිය අතර ඕවර 4.3 කදී කඩුලු 4 ක් බිඳ වැටිණ.

පන්දු 37 ක් ඇතුළත ලකුණු 22 කට කඩුලු හතක් බිඳ වැටුණු අතර ඒවායින් හයක්ම ‘මනමාලයා’ වූ අකිල ධනංජය සතුවිය. ඊයේ (23 වැනිදා) විවාහ දිවියට පත් අකිල තමන්ගේ මනාළිය තනිකර දමා එදින රාත්‍රියේම කණ්ඩායමට එක්වූයේ අද තරගයට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනි.

ජයග්‍රහණය ලකුණු 100 ක් ඈතින් තිබියදීත් පීඩනය යනු කුමක්ද යන්න නොදන්නා මහේන්ද්‍ර සිං දෝනිට බුවනේෂ්වර් කුමාර් එක්විය. එතැන් සිට මේ ක්‍රීඩකයෝ දෙදෙනා  මහත් ඉවසීමෙන් මෙන්ම තැන්පත් බවකින් යුතුව තරගය ඉන්දියාව දෙසට ඇදගෙන යන්නට වූහ. ඕවර 22.4 ක් පුරා පැවැති අට වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 100 ක් තරම දීර්ඝ වෙද්දී ලසිත් මාලිංගත් ඕවර 4 ක් යැවූ නමුත් ඔහුගේ ජවය සිඳී ගොස් තිබිණ. ඒ අතරවාරයේදී වයිඞ් පන්දු 10 ක් (ලසිත් මාලිංග 6 යි සහ විශ්ව ප්‍රනාන්දු 6 යි) යැවුණු බැවින් අතිරේක ලකුණු 12 ක් සමගින් ඕවර දෙකක්ද ඉන්දීය පිලට ලැබිණ.

දෝනිටත් තිබුණේ පුදුමාකාර වාසනාවකි. වරක් විශ්ව ප්‍රනාන්දු යැවූ පන්දුවක් දෝනිගේ කඩුල්ලේ වැදුණද බේල්ස් බිම නොවැටීම නිසා ඔහුට පිටියේ රැඳී සිටිය හැකි විය.

දඹුල්ලේ තරගයේදී ශ්‍රී ලංකා පරාජයේ පාර කැපූ ෂිකාර් ධවාන් (නොදැවී 20) තරමක් තැන්පත් වී සිටියද දුම්මල වරම අතට ගත් යකැදුරෙකු සේ පිතිහරඹයට වන් රෝහිත් ෂර්මා පන්දු 45 කින් ලකුණු 54 ක් ලබාගත්තේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක්ද ගොඩනඟමිනි. කණ්ඩායම තුළ තමන්ගේ ස්ථානය ස්ථාවර කරගැනීමේ පීඩනයට ලක්ව සිටි ෂර්මාගේ ඉනිමට දැවැන්ත හයේ පහර තුනක් සහ චිත්තාකර්ශනීය හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව ඇතිවූ පොද වැස්සක් හේතුවෙන් ඉන්දීය ඉනිම ආරම්භ කිරීම ප්‍රමාද වූ නමුත් අඩුවූ ඕවර සංඛ්‍යාවේ විශාල වෙනසක් නොවීය. ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 236 ට පිළිතුරු වශයෙන් ඉන්දීය පිලේ ඉලක්කය වූයේ ඕවර 47 කදී ලකුණු 231 කි.

චාමර කපුගෙදර (40) සහ මිලින්ද සිරිවර්ධන (58)  දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 91 ක සම්බන්ධතාව නිසා නියමිත ඕවර 50 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් ලබාගත්තේය.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව සමග ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ ශක්තිය සංසන්දනය කිරීමේදී ඉන්දියානුවන්ට තර්ජනයක් දීමට මෙම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නමුත් කිසියම් පන්දු යවන්නකුගේ තනි දක්‍ෂතාව මත තරගය ජයගැනීමේ අවස්ථාවක් තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 25 ක් අවසානයේදී කඩුලු 4 ක් දැවී ලබාගත හැකිව තිබුණේ ලකුණු 107 ක් පමණි. කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී යාමේ අවදානමෙන් මුදවාගැනීම සඳහා පරෙස්සමෙන් පන්දුවට පහර දුන් ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධන තිදෙනා අවසන් ඕවර 15 තුළදී ලකුණු 72 ක් එක් කරමින් 40 වැනි ඕවරය වන විට 179 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඉන්දීය පන්දු යවන්නන්ගේ ඉලක්කගත පන්දු යැවීම හේතුවෙන් අවසන් ඕවර 10 දී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 57 ක් පමණි.

මාස හතරකට පසුව කණ්ඩායමට එක්වූ මිලින්ද සිරිවර්ධන කණ්ඩායමේ බර කරට ගනිමින් පන්දු 58 කදී ලකුණු 58 ක් ලබාගත්තේ හතරේ පහර 2 ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරමිනි. සිරිවර්ධනට අගනා සහයෝගයක් දුන් කපුගෙදර පන්දු 61 කට මුහුණ දෙමින් ලකුණු 40 ක් ලබාගත්තේය.

තරමක් වේගවත් ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 10 ක් නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියද ලකුණු 29 ක් ඇතුළතදී ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් තිදෙනාම දැවී යාමෙන් ලකුණු 99 කට කඩුලු 4 ක් සේ ලකුණු පුවරුව වෙනස් විය.

ධනුෂ්ක ගුණතිලක දවාගනිමින් සිය 99 වැනි එක්දින ස්ටම්ප් කිරීම අත්කරගත් මහේන්ද්‍ර සිං දෝනි කුමාර් සංගක්කාර සතු ලෝක වාර්තාව සම කළේය. සංගක්කාර එක්දින තරග 404 කදී ස්ටම්ප් කිරීම් 99 ක් සතුකරගෙන සිටින අතර දෝනි සිය 99 වැනි ස්ටම්ප් කිරීම හිමිකරගන්නේ 298 වැනි තරගයේදීය.

පිටියට පැමිණි මොහොතේ සිටම මහත් අපහසුවෙන් පන්දුවට මුහුණ දුන් නායක උපුල් තරංගට සිය කඩුල්ල රැකගත හැකිවූයේ පන්දු 7 ක් දක්වා පමණි. ස්ලිප් හි සිටි විරාට් කේලිට ඉතාමත් පහසු උඩපන්දුවක් තිළිණ කළ උපුල් තරංගගේ ඉනිම ලකුණු 9 කින් අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීීය නායක විරාට් කෝලී කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේය. මෙම තරගාවලියේදී ඉන්දීය නායකයා පිට පිටම කාසියේ වාසිය දිනාගත් පස්වැනි අවස්ථාව මෙයයි.

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.