Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

editorial - 2020 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුරංග ලක්මාල් (27/4), ළහිරු කුමාර (32/3) සහ ලසිත් ඇඹුල්දෙණියගේ (74/2) දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත්විය.

දිනය අවසන් වීමට තවත් ඕවර 13 ක් ඉතිරිව තිබූ අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14 ක ඉලක්කයක් හිමිවිය. ආරම්භක පිතිකරුවන්වූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 4 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 10 ක් ලබාගනිමින් ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියහ.

සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි. ඒ අනුව ඔවුන් ලකුණු 13 ක් ඉදිරියෙන් සිටීමට සමත්වූහ.

ලකුණු 157 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිම අරඹූ සත්කාරකයෝ සිව්වැනි දිනය නිමා කළේ කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබාගනිමිනි. එහෙත් අද පෙරවරුවේදී තරගය ආරම්භ වී පළමු ඕවර 5 ඇතුළත පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීමට සුරංග ලක්මාල් සමත් වූයේය.

බදාදා සවස කිසිවකු නොදැවී ලකුණු 30 ක් වූ සිම්බාබ්වේ ලකුණු පුවරුව අද උදෑසන ලක්මාල්ගේ ඕවර 3 කට පසුව කඩුලු 3 ට 41 ක් සේ වෙනස් විය. එහෙත් බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස් දෙදෙනා මහත් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූහ.

බ්‍රෙන්ඩන් ටේලර් (38) සහ ෂෝන් විලියම්ස් (39) දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ නමුත් තරගය පරාජයෙන් බේරා ගැනීම සඳහා අවසන් දිනය පුරාම සටන් කිරීමට සිම්බාබ්වේ පිතිකරුවන්ට සිදුවිය.

ඇතැම් අවස්ථාවලදී පන්දුව ඉතා පහතින් ඇදී ආ නමුත් පිතිකරුවෝ දෙදෙනා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගත්හ. ලසිත් ඇඹුල්දෙණියගේ එක් ඕවරයකදී හතරේ පහර 3 කින් ඔහුට සංග්‍රහ කළ ෂෝන් විලියම්ස් ලකුණු 25 දී දුන් උඩපන්දුවක් ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේය.
කෙසේ වෙතත් ලකුණු සංඛ්‍යාව 120 ක් ව තිබියදී මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත්කර ගැනීමට ලක්මාල් සහ කසුන් රාජිත සමත් වූහ.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව පිටියට එක්වූ සීකන්දර් රාසා සහ රෙගීස් චකබ්වා බොහෝ වේලාවක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳී සිටියද හයවැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දේණියගේ පන්දුවක් හමුවේ සීකන්දර් රාසා ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.

ඉන්පසු පන්දුවට පහරදීමට පැමිණි ඩොනල්ඞ් ටිරිපානෝ, කයිල් ජාර්විස් සහ ඒන්ස්ලි එන්ලෝවූගේ කඩුලු තුනම දවාගත් ළහිරු කුමාර ජයග්‍රහණකින් තරගය අවසන් කිරීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්විය.

මිනිත්තු 186 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 142 කට මුහුණ දුන් රෙගීස් චකබ්වා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට දැඩි උත්සහයක් ගත්තද ලසිත් ඇඹූල්දෙණිය ඔහුගේ කඩුල්ල දවාගනිමින් සිම්බාබ්වේ දෙවැනි ඉනිම අවසන් කිරීමට සමත්විය.

..


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.