Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව අලුත් පුහුණුකරුවකු සොයයි

ශ්‍රී ලංකාව අලුත් පුහුණුකරුවකු සොයයි

editorial - 2019 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවකු සොයමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.  

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කීපදෙනකු ලෝක ක්‍රිකට් පිටියේ නම ගිය පුහුණුකරුවන් කීපදෙනකු සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. 
එම සාකච්ඡා පැවැත්වූ පුහුණුකරුවන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් සහ සිම්බාබ්වේ පිලේ හිටපු ක්‍රීඩක සහ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් යන මහත්වරු ඉදිරියෙන් සිටිති. 

 පෝල් ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධූරය බාරගැනීමට වඩාත් කැමැත්තෙන් පසු වන බව දැනගන්නට තිබේ. ඒ මහතා මීට පෙර ටේ‍රවර් බේලිස් මහතා යටතේ 2007 වසරේ සිට ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව බේලිස් මහතා ඉවත් වීමෙන් පසුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. 

ෆාබ්‍රේස් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරද්දී ශ්‍රී ලංකාව 2014 වසරේ විස්සයි20 ලෝක කුසලානය මෙන්ම ආසියානු කුසලානය දිනාගැනීමට සමත් විය. ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග නැරඹීමට පැමිණ සිටි අතර ඒ මහතා තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවක් දැකගත හැකිවිය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර්හිදී ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී ෆාබ්‍රේස් මහතා ද තුවාල ලැබීය. 
ශ්‍රී ලංකාවට විදේශීය දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වේ. ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං මහතා උපදේශකයකු ලෙස සති කීපයක් කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ නමගිය පුහුණුකරුවන් පස්දෙනකු සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම ලබන වසර දක්වා පවතින බව දැනගන්නට තිබේ. ඒ අනුව නව පුහුණුකරුවකු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද කියැවේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අලුත් පුහුණුකරුවකු සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.