Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් පිල පහළට

ශ්‍රී ලංකා යොවුන් පිල පහළට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර දෙකකට වරක් සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වූයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා යොවුන් පිල ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට ඇද දමමිනි. ඒ අනුව කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා යොවුන් පිල පළඟ ශූරතා තරගාවලියට එක්විය.

කිසියම් තරගාවලියක පළඟ ශූරතාව යනු තරගාවලියට යන කණ්ඩායමේ අපේක්‍ෂිත ප්‍රතිඵලය නොවේ. එය පරාජිතයන්ට දෙනු ලබන සැනසිලි තෑග්ගකි. කිසිම කණ්ඩායමක් පළඟ ශූරතාව අපේක්‍ෂාවෙන් තරගාවලියකට නොයයි.

‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ඉන්දියාව සහ නවසීලන්ත යොවුන් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්හ. ඉන්දීය සහ නවසීලන්ත යොවුන් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා යොවුන් පිල මූලික වටයේ අවසන් තරගයේදී ජපාන යොවුන් කණ්ඩායම පරාජය කරමින් අවමානයෙන් තරමක් දුරට ගැලවීමට ඔවුන් සමත් වූයේය.

වසර දෙකකට ඉහතදීත් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පිට පිට දෙවැනි වතාවටත් එම ඉරණමම අත්විඳින්නට සිදුවිය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන යොවුන් කණ්ඩායම්ද තරග කිහිපයකට ක්‍රීඩාකර ඉන් එක් තරගයක් ජයගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් තරගාවලියක ඉදිරියට යෑමේ අවස්ථාව අහිමිකර ගන්නා ඔව්හු තව තවත් පසුපසටම යති.

දක්ෂ පිතිකරුවන් මෙන්ම දක්ෂ පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටියද ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව තවමත් හරියාකාර වැටහීමක් ඔවුන් තුල නැත. 2018 තරගාවලියේදී මූලික වටයේ තරගයකදී ලකුණු නොලබාම දැවීයාම හේතුවෙන් මූලික වටයේ අනෙක් තරග වලින් ඉවත් කළ හසිත බෝයගොඩ පළඟ ශූරතා අර්ධ අවසන් පූර්ව තරගයේදී පන්දු 152 කදී ලකුණු 191 ක් රැස්කරමින් යොවුන් ලෝක කුසලාන තරගයකදී ක්‍රිඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්විය. එම තරගාවලියේද අවසන් පූර්ව තරගයේදී ලකුණු නොළබාම දැවී ගිය බෝයගොඩ පළඟ ශූරතා අවසන් තරගයේදී නැවතත් ශතකයක් ලබාගත්තේය.

තරගාවලියක කණ්ඩායමක් ඉදිරියට රැගෙන යෑම තනි පිතිකරුවකුට හෝ තනි පන්දු යවන්නකුට කළ නොහැක්කකි. පිතිකරුවකු හෝ දෙදෙනකු නැතහොත් පන්ද යවන්නකු හෝ දෙදෙනකු අසාර්ථක වනවිට තවත් පිතිකරුවකු හෝ පන්දු යවන්නකු නැගී සිටීම සාර්ථක කණ්ඩායමක ලක්‍ෂණයයි.

පන්දු යවන්නකු එක් අන්තයකින් හොඳින් පන්දු යැවීම කළද අනෙක් අන්තයේ පන්දු යවන්නා දුර්වල පන්දු යැවීමක නිරත වුවහොත් හොඳින් පන්දු යැවූ පන්දු යවන්නාගේ වෑයම අපතේ යයි. එබැවින් එදා තරගයේදී දක්‍ෂතා අතර සිටින පන්දු යවන්නන් කවුරුන්ද යන්න නායකයාට වැටහීමක් තිබිය යුතුය.

මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී මූලික වටයේ තරග අවසන් වනවිට තරග 3 කදී ලකුණු 97 ක් ලබාගක් රවිඳු රසාන්ත ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාය. එහෙත් ඔහු සිටින්නේ තරගාවලියේ සෙසු පිතිකරුවන් අතර 18 වැනි ස්ථානයේය. තරග 2 කදී කඩුලු 4 ක් දවාගත් සුධීර තිලකරත්නට හිමිව ඇත්තේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර 23 වැනි ස්ථානයයි. මේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් යොදාගැනීමේදී පවතින තත්ත්වයයි.

ශ්‍රී ලංකාව කුෂලාන තරගාවලියෙන් විසිවී ගිය නමුත් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට ප්‍රබල පසුබෑමකට ලක්ව සිටින බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලත් තවමත් නවකයන් ලෙසින් සැලකෙන ඇෆ්ඝනිස්ථානයත් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.

‘බී’ කාණ්ඩයෙන් තරග කළ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම ප්‍රබල ඕස්ටේ්‍රලියානු සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් පරදවමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. තරගාවලි 13 කට සහභාගිවී ඇතත් එංගලන්ත යොවුන් කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසිවූ පළමු අවස්ථාව ලෙස මෙවර තරගාවලිය ඉතිහාස ගතවෙයි.

පාකිස්තාන සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර පැවැති තරගය වර්ෂාව්  හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට හැකිවිය. පාකිස්තාන සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 5 බැගින් ලබාගනිමින් සම ස්ථානයේ පසු වුවද ලකුණු ලබාගැනීමේ වේගය මත බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය.

ඇෆ්ඝනිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළි කරමින් ඉදිරියට පැමිණෙන ඇෆ්ඝනිස්තානු යොවුන් කණ්ඩායමද ප්‍රබල දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ඇෆ්ඝනිස්තානු යොවුන් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 5 ක් හිමිවන විට ප්‍රසාද ලකුණු 4 ක් ලබාගත් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවිය.
 
2010 වසරේදී පළමු වරට යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ ඇෆ්ඝනිස්තානය කෙමෙන් කෙමෙන් ඉදිරියට එමින් පසුගිය වසරේදී (2018) අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ඔවුන් සමත්වූහ.

අවස්ථා 7 කදී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 2010 සහ 2016 වසර වලදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. සත්කාරකත්වය දැරූ 2000 වසරේදී අවසන් මහ තරගය දක්වා පැමිණි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ ලැබූ කඩුලු 6 ක පරාජයත් සමගින් අනුශූරතාවයෙන් සෑහීමට ඔවුන්ට සිදුවිය.

ඉන්දියාව සිව්වරක් (2000, 2008, 2012, 2018), ඕස්ටේලියාව තෙවරක් (1988, 2002, 2010), පාකිස්තානය දෙවරක් (2004, 2006), දකුණු අප්‍රිකාව (2014), බටහිර ඉන්දීය කොදෙව් (2016) සහ එංගලන්ත (1998) යොවුන් කණ්ඩායම් එක් වරක් බැගින් යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට සමත්විය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.