Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී තර්ජන

ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී තර්ජන

යොහාන් භාසුර - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම දැනුම්දීම පිළිබඳව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීයෙක් මෙසේ පැවසීය.  

“අපිට අගමැති කාර්යාලයෙන් ලිපියක් ඇවිල්ලා තියෙනවා පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් තියෙනවා කියලා. එය අපිට යොමු කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය හරහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයායි”

“අපි ආරක්‍ෂක අමාත්‍යංශය ඇතුළු සියලුම අංශවලට මෙය යොමු කරනවා. අපි කණ්ඩායම යවන්න ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ. ඒ සඳහා ඉදිරි දින කීපයේදී කටයුතු කරනවා” යැයි එම නිලධාරීයා වැඩි දුරටත් පැවසීය.

එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, හිටපු නායකයකු මෙන්ම ප්‍රබල පිතිකරුවකුද වන ඇන්ජලෝ මැතිව්ස්, විස්සයි20 පිලේ උප නායක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයන් 10 මේ වන විටත් මෙම පාකිස්තානු සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් පාකිස්තානු සංචාරයට සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා පාකිස්තානයේ සංචාරය කර එහි ආරක්‍ෂක තත්ත්වය යහපත් බවට වාර්තාවක් ලබාදී තිබේ. එම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප්‍රධානී විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි ප්‍රධානී චන්දිම මාපටුන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක අංශ නිලධාරී පාලිත සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා කරච්චි නුවරදී එක්දින තරග තුනකට ද, ඔක්තෝබර් මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ලාහෝර් නුවරදී විස්සයි20 තරග තුනකට ද, සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2009 වසරේ මාර්තු මස 3 වැනිදා ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ටෙස්ට් හෝ එක්දින තරගවලට ශ්‍රී ලංකා පිල පාතිස්තානයේදී සහභාගි නොවීය.

එම ප්‍රහාරයෙන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවා වශයෙන් සිටි පෝල් ෆාබ්‍රේස් මහතාද තුවාල ලැබූහ. එම ප්‍රහාරයේදී පාකිස්තානු පොලිස් නිලධාරීහු හය දෙනෙක් සහ සිවිල් වැසියෝ දෙදෙනෙක් මරණයට පත්වූහ.  

ශ්‍රී ලංකාව 2017 වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා ලාහෝර්හිදී විස්සයි20 තරගයට සහභාගි විය. එහිදීත් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් එම තරගයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් එම තරගයට සහභාගි විය.
 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී තර්ජන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.