Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඕවර 47 විගඩම

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඕවර 47 විගඩම

editorial - 2021 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කළ පිතිහරඹය තමන් මුළු ජීවිත කාලයේදීම දුටු “ඕවර 47 ක විගඩමක්” යයි එංගලන්ත පිලේ හිටපු නායක නසාර් හුසේන් මහතා කියයි. මෙම වසරේදී වසර 100 ක් සපිරෙන ලෝ පතළ ‘ද ක්‍රිකටර්’ සඟරාවේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගය සම්බන්ධයෙන් පළවූ විශේෂ ලිපියක එසේ සටහන් වී තිබිණ.

කිසිදු හික්මීමක් නැති පහර තේරීමත්, වැරදි තීන්දු ගැනීමත් එක්වූ ශ්‍රී ලංකා ඉනිමට අවාසනාවන්ත දැවීයාම් දෙකක් ද එකතු විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135 කදී නිමා වීමයි. එය 1997 සිට මේ දක්වා ටෙස්ට් තරග 34 ක් පැවැති ගාල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

එංගලන්ත පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බව සත්‍යයකි. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතීරුවකදී ස්ටුවර්ට් බ්‍රෝඩ් තමාගේ ලෙග් කටර් පන්දු උපයෝගී කරගනිමින් ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ තමන්ගේ කඩුලු බන්දේසියක තබා එංගලන්තයට පූජා කළහ. කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල මෙන්ම වනිඳු හසරංගත් උවමනාවට වඩා වැඩි ආක්‍රමණශීලීත්වය නිසා තමන්ගේ කණ්ඩායම අමාරුවේ දැමූ වැරදිකාරයන්ගේ ලයිස්තුවට ඇතුළත් වූහ.

මෙම පිතිකරුවන් දැවී ගිය ආකාරය සම්බන්ධයෙන් නසාර් හුසේන් බලවත් අප්‍රසාදය පළකර තිබිණ.

“මා හිතන්නේ අගාධය තරමක් හෝ නොගැඹුරු වේවි කියලයි... ඇත්ත වශයෙන්ම ඒක මහ විකාරයක්.... විගඩමක්” යයි නසාර් හුසේන් ස්කයි ස්පෝට් රූපවාහිනී සේවයට පැවසීය.
“නිකම් හිතන්න බලන්න.... ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටයන්, ඒ කියන්නේ සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර නැත්නම් අරවින්ද ද සිල්වා වගේ අය මේ විදිහේ පිතිහරඹයක් දිහා බලා ඉඳලා මොනවා හිතනවා ඇත්ද ? ”

“ඒක මහ විගඩමක්.... ”
“ආපසු ක්‍රීඩාගාරයට ඇවිදගෙන යන ගමන් ‘මට වැටුණේ හොඳ පන්දුවක්’ කියලා ශ්‍රී ලංකා පිතිකරුවන් කී දෙනෙක් කියන්න ඇතිද කියා හිතන්න මම කැමතියි... ඒත් ඒ එක්කෙනෙකුටවත් එහෙම කියන්න බෑ...”

“අවසානය දිහා බැලුවාම ඒක නිකම් විකට නාට්‍යයක් වගේ..”
“මගේ ජීවිත කාලය පුරාම, ටෙස්ට් තරගයක ඕවර 46 ක් නැත්නම් ඕවර 47 කදී මා දුටු විගඩම මේකයි”

“මේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණොත්, ඒ ඔවුන් විහින්ම අගාධයේ වැටීම නිසයි.... ටෙස්ට් තරගයක පළමු දිනයේදී ඔබට දිනන්න බෑ... ඒත් නිසැක වශයෙන්ම පරදින්න පුළුවන්” යයිද නසාර් හුසේන් කියා තිබිණ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඕවර 47 විගඩම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.