Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිල ජාම බේරාගැනීමේ සටනක

ශ්‍රී ලංකා පිල ජාම බේරාගැනීමේ සටනක

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය මවුබිම තුළදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසද පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ජාම බේරාගැනීමේ අරමුණින් හෙට (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර තරගයට පිවිසීමට නියමිතය.

මාස එකහාමාරක පමණ තරග සංචාරයක නිරතව සිටින විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එම සංචාරයේ අවසන් කඩයිම දක්වා පැමිණි ගමනේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ ආගාධයට ඇද දැමුවා පමණක් නොව ක්‍රිඩා ලෝලීන්ගේ අප්‍රසාදයටද පත් කළේය.

ඒ අනුව මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක හෝ සැනසුම් සුසුමක් හෙළීමට නම් හෙට පැවැත්වෙන විස්සයි20 තරගය කෙසේ හෝ ජයගැනීමට සිදුව තිබේ. හෙට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් දැකගත හැකි වනු ඇතැයි වාර්තා වන අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සීක්කුගේ ප්‍රසන්න සහ දසුන් ශානක කණ්ඩායමට කැඳවීම තම අවසන් රාජකාරීය තුළදී තේරීම් කමිටුව ගත් පැසසිය යුතු පියවරක් ලෙස හැඳින්විය හැකිය.

කෙසේ වුවත් ඔවුන් දෙදෙනාම හෙට තරගයට සහභාගි වන්නේ දැයි යන්න තවමත් ස්ථීර වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර දසුන් ශානක හෝ තිසර පෙරේරා අතරින් එක් අයෙක්ද, සීක්කුගේ ප්‍රසන්න සහ වනිඳු හසරංග අතරින් එක් අයෙක්ද හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව දැනගන්නට ලැබේ.  

හෙට තරගයේදී කණ්ඩායමේ දඟ පන්දුයවන්නා ලෙස එක්දින තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ අකිල ධනංජය ක්‍රීඩා කරන්නේද, නැතහොත් ආබාධයකට ලක්ව සිට ඉන් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්ව සිටින ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳවද කණ්ඩායමේ කලමනාකාරීත්වය මේ වන විට සාකච්ඡා කරමින් පවතී.

උපුල් තරංග විස්සයි20 කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මෙය වන අතර හෙට තරගයේදී ඔහු, නිරෝෂන් දික්වැල්ල සමග ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. එය එසේ සිදු නොවුණහොත් ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ෂාන් මුණවීරට ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීමට සිදුවන අතර තරංගට අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීමට සිදුවනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් එක්දින තරගාවලිය අතරතුර පෞද්ගලික හේතුවක් මත ආපසු ඉන්දියාවට ගොස් ඇති අතර හෙට තරගයේදී රෝහිත් ශර්මා සමග අජින්ක්‍යා රහනේ හෝ ලෝකේෂ් රාහුල් ඉන්දීය ඉනිම ඇඹීමට නියමිත බව වාර්තා වේ.

දෙරට අතර මේ දක්වා විස්සයි20 ක්‍රිකට් තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 6 ක ජය ඉන්දියාවටද, තරග 4 ක ජය ශ්‍රී ලංකාවටද හිමිවී තිබේ. අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විස්සයි20 තරගයට සහභාගි වී ඇත්තේ බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී වන අතර එම තරගය කඩුලු 5 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ විකුම් සංජය

ඉන්දීය විස්සයි20 සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ශර්මා, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාන්ඩ්‍යා, අජින්ක්‍යා රහනේ, ලෝකේෂ් රාහුල්, මනීෂ් පාන්ඬේ, කේදාර් ජාදෙව්, අක්ෂාර් පටේල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, ශර්දුල් ඨාකූර් සහ යුෂ්වින්දර් චාහල්

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ජාම බේරාගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.