Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැගී එන පිලට 2-1 ක තරගාවලි ජයක්

ශ්‍රී ලංකා නැගී එන පිලට 2-1 ක තරගාවලි ජයක්

editorial - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යා්‍යට අනුව කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (24 වැනිදා) සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙසින් ජයගැනීමටද චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී නැගී එන කණ්ඩායමට හැකි විය.

අද පැවැති තරගයේදී වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 28 කට සීමා කෙරුණ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හිමිවිය. ඕවර 24 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
 
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 78 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 115 ක් රැස්කරමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රණයේ නියමුවා බවට පත් විය.

සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිනෝද් භානුක (55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 122 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිස්සංක සමත් වූ අතර භානුකගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ නැගී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 269 ක් ලබාගත් අතර එහිදී ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු සයිෆ් හසන් (117) සමත් විය. පන්දු 130 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

අෆීෆ් හොසේන් (68) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සයිෆ්, කෙමෙන් කෙමෙන් බංගලාදේශ නැගී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. අෆීෆ්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

බංගලාදේශ නැගී එන පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 269
(සයිෆ් හසන් 117, නජ්මුල් හොසේන් 39, අෆීෆ් හොසේන් 68, කළණ පෙරේරා 47/2)

ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 24 කදී කඩුලු 3 ක් දැවී 199
(පැතුම් නිස්සංක නොදැවී 115, මිනෝද් භානුක 55)

-036  

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැගී එන පිලට 2-1 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.