Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැගී එන පිල මූලික වටයෙන්ම ඉවතට

ශ්‍රී ලංකා නැගී එන පිල මූලික වටයෙන්ම ඉවතට

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම, එහිදී සහභාගි වූ තරග තුනම පරාජය වීම නිසා මූලික වටයෙන්ම ඉවතට විසිවිය. ඇෆ්ඝනිස්තාන වයස 23 න් පහළ කණ්ඩායමට එරෙහිව කොක්ස් බසාර්හිදී අද (18 වැනිදා) පැවැති තරගයේදීද ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම කඩුලු 7 ක පරාජයක් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තාන නැගී එන ක්‍රීඩකයෝ ඕවර 44.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් ශතකයක් ලබාගත් ශහිදුල්ලා කමල් (නොදැවී 102) ඇෆ්ඝනිස්තාන නැගී එන කණ්ඩායම් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ආරම්භක පිතිකරු අබ්දුල් මලික් (47) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශහිදුල්ලා, ඉන් නොනැවතී දර්විෂ් රසූලි (61) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඇෆ්ඝනිස්තාන නැගී එන ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 55 කට මුහුණදුන් අබ්දුල් මලික් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී අමිල අපොන්සුගේ දක්ෂ පන්දු රැකීමක් හමුවේ ඔහු දුවද්දී දැවී යෑමකට හසුවිය. කළණ පෙරේරා පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 59 කට මුහුණදී සිටි රසූලිගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

මෙම තරගයේදී තමාද ඇතුළුව පන්දු යවන්නන් අට දෙනකුගේ සේවය ලබාගැනීමට නායන චරිත් අසලංක පියවර ගත්තද, ඔවුන් අතරින් එක් කඩුල්ල බැගින් හෝ දවාගැනීමට සමත් වූයේ අසලංක සහ කළණ පෙරේරා පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 238 ක් ලබාගත් අතර එහිදී ශතකයක් ලබාගැනීමට නායක චරිත් අසලංක (100) සමත් විය. පන්දු 106 කදී වාර්තා වූ අසලංකගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

මුල් කඩුලු 2 ලකුණු 25 ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේදී ආම්භක පිතිකරු මිනෝද් භානුක (42) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 62 ක සමබන්ධතාවක් ගොඩනැගූ අසලංක, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම යම් ස්ථාවර තත්වයකට රෑගෙන ආවේය. පන්දු 60 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු රැස්කරමින් සිටි භානුක දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

ඉන් අනතුරුව කමිඳු මෙන්ඩිස් (63) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ අසලංක, කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 71 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6  කින් සමන්විත විය.

පිතිකරුවන් හත්දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට විශාල පාඩුවක් බවට පත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අස්මතුල්ලා ඔමර්සායි සහ අබ්දුල් වාසි කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම සුනිවිසුණු කර දැමූහ.


ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 238  
(මිනෝද් භානුක 42, චරිත් අසලංක 100, කමිඳු මෙන්ඩිස් 63, අස්මතුල්ලා ඔමර්සායි 36/3, අබ්දුල් වාසි 50/3, යූසෆ් සසායි 26/2)

ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 48.5 කදී කඩුලු 3 ක් දැවී 242
(අබ්දුල් මලික් 47, ශහිදුල්ලා කමල් නොදැවී 102, ඩර්විෂ් රසූලි 61)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැගී එන පිල මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.