Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කණ්ඩායමේ රූපවාහිනී අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමට

ශ්‍රී ලංකා කණ්ඩායමේ රූපවාහිනී අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමට

දමින්ද විජේසූරිය - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රූපවාහිනී ප්‍රචාරක අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (එස්.පී.එන්.) සමාගම විසින් අත්පත් කරගනු ලැබ තිබේ. ඉන්දීය සමාගමක් වන මෙම සමාගම 2020 ජූලි මස 1 වන දින සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගම ගිවිසුමකට එළඹ සිටී.

මෙම ගිවිසුම අනුව වසර 3 ක කාලයකදී පැවැත්වෙන ටෙස්ට් තරග 10 ක්, එක්දින තරග 24 ක් සහ විස්සයි 20 තරඟ 18 ක සජීවී විකාශන අයිතිය ඊට අයත්වේ. මෙම තරග වල සම්පූර්ණ දින සංඛ්‍යාව (සජීවී විකාශය පැවැත්වෙන) දින 92 ක් ලෙසින් ගණන් බලා ඇතත් ටෙස්ට් තරගයක් දින 5 ක සම්පූර්ණ කාලය දක්වා නොයන අවස්ථාවලදී එය දින 92 කට වඩා අඩුවිය හැකිය.

ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් අතර වැඩිම වාණිජ වටිනාකමක් හිමි ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාර දෙකක්ද මෙම ගනුදෙනුවට ඇතුළත් වෙයි. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරග 6 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත නමුත් එහි නොකියැවෙන කතාව වන්නේ තවත් වසර 3 ක කාලයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක් නොපැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පැවැත්වී ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය. ඉන්දියාවේදී පැවැති මෙම තරගාවලියෙන් ඉන්දියාව 1-0 ක තරගාවලි ජයක් අත්කරගත්තේය.

නව රූපවාහිනී ගිවිසුම අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු සීමිත ඕවර තරගාවලිය 2021 ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත අතර එයට විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ. එහෙත් ඉන්දීය පිලට කාලය ඇත්නම් ලබන වසරේදී පැවැත්වෙන මෙම තරගාවලියට එක්දින තරග 3 ක් ඇතුළත් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර අනෙක් සීමිත ඕවර තරගමාලාවේ දින වකවානු තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රචාරක අයිතිය හැරුණු විට එංගලන්ත, ඕස්ට්‍රේලියානු සහ අයර්ලන්ත කණ්ඩායම් වලද ප්‍රචාරක අයිතිය හිමිකරගෙන ඇත්තේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් සමාගමයි.

නව ගිවිසුමට ඇතුළත් වන පළමු තරගාවලිය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකි. එම තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම සැප්තැම්බර් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. එහි තරග දෙකක් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීද අනෙක් තරගය කොළඹදීද පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම, දෙසැම්බර් මස මුල් සතියේදී, ටෙස්ට් තරග දෙකක තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමේ රූපවාහිනී අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.