Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගය හෙට

යොහාන් භාසුර - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු භූමියට නැවතත් ටෙස්ට් ක්‍රිකට් වසන්තය ගෙනඑමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි නුවරදී හෙට (11) ආරම්භ වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. පාකිස්තානය මෙම තරගය වඩාත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

මෙම සිද්ධියෙන් පසුව වසර 10 කට අධික කාලයක් පාකිස්තානය සත්කාරත්වය දැරූ ටෙස්ට් තරග එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී පැවැත්විණි. ශ්‍රී ලංකා පිල ඊයේ (10) රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි විය.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න එම පුහුණු සැසියනේ පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ප්‍රබල පාකිස්තානු පිලට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

දිමුත් එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස කටයුතු කරනවා. මම හිතන්නෙ චන්දිමාල්ටත් පිතිකරුවකු ලෙස ස්ථානයක් හිමිවෙයි. අපි තවම අවසන් කණ්ඩායම තෝරාගෙන නෑ”  

“නව පුහුණුකරු මිකී ආතර් පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර තුනක් කටයුතු කර තිබීම අපිට වාසියක්. ඔහුට පාකිස්තානු කණ්ඩායම පිළිබඳව හොඳ දැනුමත් තියෙනවා”

“රාවල්පින්ඩිවල තරමක සීතලත් තියෙනවා. ක්‍රීඩකයන් හැටියට දැනගන්න ඕනේ ඒකට හුරුවෙන්න. මම හිතන්නේ එයට හුරුවීමට අද දිනය ප්‍රමාණවත් වෙයි”

ආරක්‍ෂාව පිළිබඳව කළ විමසුමේදී දිමුත් මෙසේ අදහස් දැක්වීය.

“අපි විස්සයි20 සහ එක්දින තරගාවලියකට පාකිස්තානයේදී සහභාගි වුණා. දැන් ටෙස්ට් තරගාවලියට ඇවිත් ඉන්නවා. කිසිඳු ප්‍රශ්නයක් නොවී එම තරගාවලිය අවසන් කරලා අපේ කණ්ඩායම් නැවත ගියා. පසුගිය තරගාවලිවලදීත් ඔවුන් මේ ආකාරයටම ආරක්‍ෂාව දුන්නා. මම හිතනවා ඉදිරියේදී සෙසු රටවල් පාකිස්තානයේ සංචාරය කරයි කියලා”

මෙහිදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතය.

කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙස ද, ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ද, ක්‍රීඩා කිරීමට නියමිතය.

දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය, වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්‍ෂාන් සඳකැන් සහ අසිත ප්‍රනාන්දු

පාකිස්තානු ටෙස්ට් සංචිතය:
අසාර් අලී (නායක), බාබර් අසාම්, ඉමාම් උල් හක්, අබිද් අලී, අසාද් ශාෆික්, ෆවාඞ් අලාම්, හැරිස් සොහෙල්, ඉම්රාන් ඛාන්, කෂීෆ් බට්ටි, මොහොමඞ් අබ්බාස්, මොහොමඞ් රිස්වාන්, නසීම් ෂා, ශාන් මෂූඞ්, යසීර් ෂා සහ උස්මාන් ශින්වාරී

 


අදහස් (0)

ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.