Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශර්මා - රාහුල් ඉන්දියාව දිනවති

ශර්මා - රාහුල් ඉන්දියාව දිනවති

editorial - 2019 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස බංග්ලාදේශය එරෙහිවට බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 286 පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීත් බුම්රා ලකුණු 55 කට කඩුලු 4 ක්ද, හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 60 කට 3 ක්ද දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

බංග්ලාදේශ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඞ් ශයිෆුඩීන් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කිරීමට සමත් වුවද, සහයට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වූ සකීබ් අල් හසන් පන්දු 74 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 66 ක් රැස්කළ අතර හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ දිනේෂ් කාර්තික් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 314 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 104 ක් රැස්කළේය.

ලොකේෂ් රාහුල් (77) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 176 කදී ලකුණු 180 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සමත් විය. පන්දු 92 කට මුහුණදුන් රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

එම ශතකය ශර්මාගේ 26 වැනි එක්දින ශතකය මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ලබාගත් සිවුවැනි ශතකයද විය. එම ශතකයත් සමගින් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමටද ශර්මා සමත් වූ අතර මේ දක්වා තරග 7 කට සහභාගි වී සිටින ඔහු එහිදී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 544 කි.

සෞම්‍ය සාකර්ගේ පන්දුවක් හමුවේ ලිටන් දාස් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී යෑමත් සමග ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 15 ක් එක්වන විට මුෂ්ෆිකුර් රහීම්ගේ සහායද ඇතිව ලොකේෂ් රාහුල් පිටියෙන් ඉවත් කිරීමට රුබෙල් හොසේන් සමත් විය.

නායක විරාට් කෝලි ලකුණු 26 කට දවාගත් මුස්තෆිසුර් රොහෙමාන්, ඉන් නොනැවතී හර්දීක් පාණ්ඩ්‍යා (0), දිනේෂ් කාර්තික් (8) සහ මහේන්ද්‍ර සිං දෝනි (35) ද දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ මැද පෙළ අඩ පණ කළේය. ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී දවාගත් මොහොමඞ් සාමිගේ (1) කඩුල්ලත් සමගින් මුස්තෆිසුර්, සිය කඩුලු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දමාගත්තේය.

අබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ ශිකර් ධවාන් වෙනුවට සංචිතයට ඇතුළත් වූ රිෂාබ් පාන්ට් අද තරගයේදී පන්දු 41 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. සිය මංගල අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මොසද්දික් හොසේන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 314
(රෝහිත් ශර්මා 104, ලොකේෂ් රාහුල් 77, විරාට් කෝලි 26, රිෂාබ් පාන්ට් 48, මහේන්ද්‍ර සිං දෝනි 35, මුස්තෆිසුර් රොහෙමාන් 59/5)

බංග්ලාදේශය - ඕවර 48 කදී සියලු දෙනා දැවී 286
(ටමීම් ඉක්බාල් 22, සෞම්‍ය සාකර් 33, සකීබ් අල් හසන් 66, මුෂ්ෆිකුර් රහීම් 24, ලිටන් දාස් 22, සබීර් රෙහෙමාන් 36, මොහොමඞ් ශයිෆුඩීන් නොදැවී 51, ජස්ප්‍රීට් බුම්රා 55/4, හර්දීක් පාණ්ඩ්‍යා 60/3)


අදහස් (0)

ශර්මා - රාහුල් ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.