Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි20 ශූරතාව සී.සී.සී පිලට

විස්සයි20 ශූරතාව සී.සී.සී පිලට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනෝද් භානුකගේ (59) සහ වනිඳු හසරංගගේ (නොදැවී 60) විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.

එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට සී.සී.සී පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිල කඩුලු 6 ක් දැවී 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය.

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළ මිනෝද් භානුක ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්විය. මිනෝද් භානුකගේ දැවී යාමත් සමගින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ වගකීම සිය කරමතට ගත් වනිඳු හසරංග පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 60 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට සමත්විය.

මිනෝද් භානුකගේ සහ වනිඳු හසරංග සිය අර්ධ ශතකය පන්දු 30 කදී වාර්තා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා සී.සී.සී පිලට අවසන් ඕවරයේදී ලකුණු 17 ක් ලබා ගැනීමට අවශ්‍ය විය. අවසන් ඕවරය යැවීම සඳහා මේරියන්ස් පිලේ නායකයා තික්ෂිල ද සිල්වා කැඳවූ අතර පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ වනිඳු හසරංග දෙවැනි පන්දුවට හතරේ පහරක්ද තෙවැනි පන්දුවට ලකුණු 2 ක් ද ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා පන්දු 3 කදී ලකුණු 5 ක් අවශ්‍යවූ අතර සිවුවැනි පන්දුවට ලකුණු 2 ක් ලබාගත් වනිඳු හසරංග පස්වැනි පන්දුවේදී ලකුණක් සඳහා පැති මාරු කරගත්තේය. තරගයේ ලකුණු සමකර ගැනීමට එක් ලකුණක් අවශ්‍යවූ අතර ජයග්‍රහණයට ලකුණු 2 ක් අවශ්‍ය විය.

තරගයේ ලකුණු සමකර ගැනීම, ජය මෙන්ම පරාජය අතර තරගය දෝලනය වූ අවස්ථාවක මහත් චකිතයකින් පන්දුවට පහරදුන් මනෙල්ක ද සිල්වා අවසන් පන්දුවේදී ලකුණු 4 ක් ලබාගනිමින් ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දේය.

කාසියේ වාසිය දිනූ සී.සී.සී පිල පළමුව පන්දුවට පහරදීමට හලාවත් මේරියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී ඔවුන් කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබාගැනීමට සමත්වූහ.

මේරියන්ස් ලකුණු පුවරුව 9 ක් වනවිට ප්‍රවේගකාරී පිතිකරුවකු වන ලසිත් කෲස්පුල්ලේ දවාගැනීමට ළහිරු ගමගේ සමත්විය. ඉන් නොසැලුණු කමිඳු මෙන්ඩිස් සහ නායක ශෙහාන් ජයසූරිය දෙවැනි කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශක්තිමත් අඩිතාලමක් දමාදීමට සමත්වූහ.

පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළ කමිඳු මෙන්ඩිස්ගේ දැවීයාමත් සමගින් දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳු වැටුණි.

කමිඳුගේ දැවීයාමත් සමගින් හුදකලා සටනක නිරතවූ ශෙහාන් ජයසූරිය පන්දු 52 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ හලාවත මේරියන්ස් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමිව ගියේය. ශෙහාන් ජයසූරියගේ අර්ධ ශතකය පන්දු 32 කදී වාර්තා විය.

මාලින්ද පුෂ්පකුමාර ලකුණු 27 කට කඩුලු 2 ක් සහ ළහිරු ගමගේ ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

මේරියන්ස්  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 162
(කමිඳු මෙන්ඩිස් 46, ශෙහාන් ජයසූරිය 80, මාලින්ද පුෂ්පකුමාර 27/2, ළහිරු ගමගේ 30/2)

සී.සී.සී  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 165
(මිනෝද් භානුක 59, වනිඳු හසරංග නොදැවී 60, පුලින තරංග 24/2)


අදහස් (0)

විස්සයි20 ශූරතාව සී.සී.සී පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.