Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 මේ අවුරුද්දේ පැවැත්වෙන එකක් නොවේ

විස්සයි-20 මේ අවුරුද්දේ පැවැත්වෙන එකක් නොවේ

editorial - 2020 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේදී පැවැත්වීමට නොහැකි වෙතැයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඩීන් ජෝන්ස් මහතා කියයි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී ඇති තත්ත්වය අනුව අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනයේ වෙනස්කම් කිරීමට අවශ්‍ය වී තිබේ.
නවතම තත්ත්වයන් අනුව විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

“බොහෝ කාරණා හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන්නේ නෑ” යයි ඩීන් ජෝන්ස් මහතා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී  පවසා ඇත.

“එකක් තමයි ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය මේ වන විට බොහෝ දෙනෙකු සේවයෙන් ඉවත් කරලා තියෙන්නේ.. ඒත් කාර්ය මණ්ඩලය, ක්‍රීඩකයින් සහ පරිපාලකයින් ඇතුළුව එක් කණ්ඩායමකට පුද්ගලයින් 30-40 ක් පමණ වන කණ්ඩායම් 16 ක් එකම වෙලාවේ මේ රටේ සිටිනවා නම්, මේ වෙලාවේ ඒක කරන්න බෑ.....අනෙක් කාරණය තමයි ඕස්ටේ්‍රලියාවේ සීමා කිරීම් දැඩි ලෙස ක්‍රියාත්මක වීම”
“ඇරත් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමෙන් සත්කාරක රට විශාල මුදලක් උපයන්නේත් නෑ. අතීතයේ එහෙම දෙයක් තිබුණා. ඒත් දැන් නීති රීති යටතේ එහෙම දෙයක් නෑ.....”

“ඉතින්, ඔවුන් (ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය) දැන් ඔවුන්ගේ මුදල් උපයන්නේ කොහෙන්ද? ”
“ඒත් ටෙස්ට් හා එක්දින තරග හතරක පූර්ණ ඉන්දියානු සංචාරයක් සඳහා අපිට ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් පමණ උපයන්න පුළුවන්” යයිද ඩීන් ජෝන්ස් මහතා කියයි.

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වීමත් සමගම ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය රැකියා අහිමි වීම සම්බන්ධයෙන් තමන්ගේ සේවකයන්ට අනතුරු ඇඟවීය. ලෝකයේ ඇතැම් රටවල ක්‍රිකට් ආයතන මෙන් නොව ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය පාඩු විඳීමට සූදානම් නොවේ. ඔවුන් කිසියම් තරගාවලියකට අතගසන්නේ එයින් ආර්ථික ප්‍රතිලාභ ලැබේ නම් පමණි.

“ඇත්ත වශයෙන්ම ලෝකයේ අනෙකුත් සියලුම ක්‍රිකට් මණ්ඩල මෙන් ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනයත් මේ වෙලාවේ අලි අමාරුවක වැටිලා ඉන්නේ. මේ වෙලාවේ ඔවුන් තමන්ගේ කොටස ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා”

“ඒ නිසා මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට පුළුවන් ඉන්දියාව හසුරුවා ගන්න. ඒක ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙහි පැමිණෙන තවත් රටවල් 15 ක් හැසිරවීමට වඩා පහසුයි” යයිද ජෝන්ස් මහතා පවසා තිබිණ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මීට පෙර පවසා තිබුණේ ඉන්දියාව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී තමන්ගේ රටේ සංචාරය කරනු ඇති බවයි. එම තරගාවලිය ටෙස්ට් තරග 4 කින්, එක්දින සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග වලින් සමන්විත වීමට නියමිතව තිබිණ.

දෙසැම්බර් 3 වැනිදා ආරම්භවන මෙම තරග මාලාවේ ටෙස්ට් තරග හතර පිළිවෙලින් බි්‍රස්බේන්, ඇඩිලේඞ්,  මෙල්බර්න් සහ සිඞ්නි යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව ඇත.

 

 - 2079


අදහස් (0)

විස්සයි-20 මේ අවුරුද්දේ පැවැත්වෙන එකක් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.