Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන්-බෝල්ට්-ගප්ටිල් සැනසීම ගෙනෙති

විලියම්සන්-බෝල්ට්-ගප්ටිල් සැනසීම ගෙනෙති

editorial - 2019 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලිය කුමක් වූවත් එහි ආරම්භයට වඩා වැදගත් වන්නේ අවසානය යයි ඉන්දියානුවන්ට කියා දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 18 ක අති විශිෂ්ට ජයක් වාර්තා කළහ. මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) නිමාවූ මෙම තරගයේදී ලකුණු 240 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 221 ක් පමණි.

මෙම ජයත් සමගම නවසීලන්ත කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 91 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබියදී එක්වූ මහේන්ද්‍ර සිං දෝනි (50) සහ රවීන්ද්‍ර ජදේජා (77) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක් එක් කරමින් නවසීලන්ත නායකයාගේ නලලත රැළි නැංවූහ. එහෙත් ලකුණු 8 ක් ඇතුළත මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කරගත් නායක විලියම්සන්, ටේ‍රන්ට් බෝල්ට් සහ මාටින් ගප්ටිල් නවසීලන්තයට සැනසුම් සුසුම් ගෙන ආහ.

නවසීලන්ත ජයග්‍රහණය පිතිකරුවන් අත්කරගත් එකකට වඩා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් විසින් අත්කරගන්නා ලද්දක් බව හැඳින්වුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඔවුන්ට ආරක්‍ෂා කරගැනීමට සිදුව  තිබුණේ ලකුණු 239 ක් වැනි සුළු සංඛ්‍යාවකි. එහෙත් ධෛර්යවත්ව පිටියට පිවිසි නවසීලන්ත පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ එකම එක උඩපන්දුවක් හැර, තමන්ට ලැබෙන සියලුම අවස්ථා ග්‍රහණය කරගත්හ. ඈතින් ඇදී ගිය පන්දු උඩපන්දු බවට පෙරළා ගත්හ.

ඉන්දීය ඉනිම පුරාම වාර්තා වූයේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 5 ක් පමණි. නවසීලන්ත පන්දු යවන්නන් විසින් යවන ලද පන්දු 297 න් 180 ක්ම නිලකුණු පන්දු වූයේ ජගුවරයන් හා දිවියන් මෙන් කළ පන්දු රැකීම හේතුවෙනි. වසර ගණනාවක සිට නවසීලන්ත ක්‍රීඩකයන් රැකගෙන එන පන්දු රැකීමේ කීර්තිය අද තරගයේදී මෙනවට ප්‍රදර්ශනය කෙරිණ.

ඊයේ ආරම්භ වූ මෙම තරගයේ නවසීලන්ත ඉනිමේ නිමාව ආසන්න වෙද්දී වර්ෂාව ඇදහැලීම නිසා ඉන්දියානුවන් සතු ග්‍රහණය ගිළිහී ගියේය. වර්ෂාව හේතුවෙන් ඕවර 46.1 ක් තිබියදී තරගය නතර කරන විට නවසීලන්ත ඉනිම ලකුණු 211 කට සීමාවී තිබිණ. එහෙත් අද පෙරවරුවේදී නැවත තරගය ආරම්භ වූ තැන සිට ඉතිරි පන්දු 23 දී ලකුණු 28 ක් ලබාගත් නවසීලන්ත පිලට තිබූ ඉහළම වාසිය වූයේ ඒ වන විට පැවැති වාතාවරණයයි.

ඊයේ සවස් කාලයේ වර්ෂාව පැවතිණ. අද උදෑසන තිබුණේත් වැසිබර කාලගුණයකි.

නවසීලන්ත පන්දු යවන්නෝ, තණතීරුවේ අන්ත දෙකින්ම, නව පන්දු දෙකක් අතැතිව සිටියහ. තරගය පැවැත්වූයේ ආසියාවේ නොවේ. එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදීය.

සියල්ලම නවසීලන්තයේ වාසියට සටහන් වී තිබිණ. මෙවන් තත්ත්වයක් යටතේ කුමක් කළ යුතුද යන්න මැතිව් හෙන්රිට කියාදීම අවශ්‍ය නොවේ. ඇරත් මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කිසිම පන්දු යවන්නකු ටේ‍රන්ට් බෝල්ට් තරමට පන්දුව දෝලනය නොකරයි. නව පන්දුව අතට ගත් පසුව ලොකී ෆර්ගසන් අමුතුම සත්වයෙකි.

පන්දු යවන්නෝ උත්තේජනය වූහ.

ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගේ දෑත් හිස මත නතරව දෑස් විසල්ව යද්දී ඉන්දීය පිලේ පළමු පිතිකැරුවෝ තිදෙනාම පළමු පන්දු 19 ක් ඇතුළතදී ආපසු ක්‍රීඩාගාරයට පියමං කළහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මැතිව් හෙන්රිට ගොදුරු වූ අතර විරාට් කෝලිට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකළ ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුව කඩුල්ල ඉදිරියේදීම ඉන්දීය නායකයාගේ පා ආවරණයේ වැදුණේය.

රිෂාබ් පන්ට් සමග එක්වූ දිනේෂ් කාර්තික් පීඩනයට හොඳින් ඔරොත්තු දෙමින් අවශ්‍ය ලකුණු වේගය පවත්වාගෙන යන පිතිකරුවකු ලෙසින් ප්‍රකට වූවත් අද දිනයේ ඔහුට රිසි සේ සෙල්ලම් පෙන්වීමට නවසීලන්ත පන්දු යවන්නෝ අවසර නොදුන්හ. ලකුණු 6 ක් ලබාගැනීම සඳහා රිෂාබ් මුහුණ දුන් පන්දු 25 න් පන්දු 23 ක්ම නිලකුණු පන්දු විය. ජේම්ස් නීෂම්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් කාර්තික්ගේ ඉනිම නිමා විය.

වේග පන්දු යවන්නන්ගේ දඩබිමකදී මිචෙල් සෑන්ට්නර් කළේ විස්මිත පන්දු යැවීමකි. සිය පළමු ඕවර 6 දී යැවුණු පන්දු 36 න් පන්දු 29 ක්ම නිලකුණු පන්දු වශයෙන් සටහන් කළ වමත් පා දඟ පන්දු යවන්නා එම ඕවර 6 ඇතුළත ඉන්දීය පිතිකරුවන් ලකුණු 07 කට සීමා කළේය. එපමණක් නොව ඉතාමත් භයානක පිතිකරුවන් දෙදෙනකු වශයෙන් සැලකෙන රිෂාබ් පන්ට් සහ හර්දික් පාණ්ඩ්‍යා දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය.

සෑන්ට්නර් හමුවේ ලකුණු නොලැබීමෙන් අසහනයට පත් රිෂාබ්, මිඞ් විකට් කලාපයට ඉහළින් පන්දුව යැවීමට ගත් උත්සාහයේදී කොලින් ඩි‘ග්‍රැන්ඞ්හෝම්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. එන්න එන්නම ඉහළ යන අපේක්‍ෂිත ලකුණු වේගය වැඩිකිරීමට පාණ්ඩ්‍යා ගත් උත්සාහය අවසන් වූයේ කේන් විලියම්සන් විසින් උඩපන්දුවක් ගිලගැනීමෙනි.

සෑන්ට්නර් සිය ඕවර 10 හමාර කරන විට ඉන්දීය පිලේ ඉලක්කය පන්දු 54 කදී ලකුණු 81 ක් වී තිබිණ. එතැන් සිට ඉන්දියානුවන්ට තිබුණේ මියෙම්වා හෝ රැකෙම්වා යයි සිතා පහර දීම පමණි. අවසානයේදී නවසීලන්තයේ බලාපොරොත්තු රැකී තිබිණ.

 

..


අදහස් (0)

විලියම්සන්-බෝල්ට්-ගප්ටිල් සැනසීම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.