Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝකේෂ් - රෝහිත් ශ්‍රී ලංකාවට රිදෙන්නම තලති

ලෝකේෂ් - රෝහිත් ශ්‍රී ලංකාවට රිදෙන්නම තලති

editorial - 2019 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

වසර 20 කට එපිට, එංගලන්තයේදීම පැවැති ලෝක කුසලාන තරගයක් නැවත සිහිගැන්වූ රෝහිත් ෂර්මා (103) සහ ලෝකේෂ් රාහුල් (111) එංගලන්තයේ ලීඞ්ස් නුවරදී අද (6 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 7 ක ජයක් ඉන්දීය පිලට ගෙන දුන්හ. ශ්‍රී ලංකා පිල  ඕවර 50 කදී ලබාගත් ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දියානුවන්ට අවශ්‍ය වූයේ ඕවර 43.3 ක් පමණි.

1999 ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු 373 ක් ලබාගත් ඉන්දීය පිල වෙනුවෙන් සව්රව් ගංගුලි ලකුණු 183 ක් ලබාගත් අතර රාහුල් ද්‍රාවිඞ් ලකුණු 145 ක් ලබාගත්තේය. සව්රව් ගංගුලි සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනා අතර එදා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 318 කි. අද තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 189 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසුව රෝහිත් ෂර්මා දැවී ගිය නමුත් ලෝකේෂ් රාහුල් පන්දු 109 කින් ශතකය සම්පූර්ණ කළේය.

වසර 44 ක ලෝක කුසලාන තරග ඉතිහාසයේ එකම තරගාවලියකදී ශතක 5 ක් ලබාගත් පළමු පිතිකරුවා මෙන්ම එකම තරගාවලියකදී ලකුණු 700 ඉක්මවා ගිය එකම පිතිකරුවා ද ලෙසින් රෝහිත් ෂර්මා වාර්තා පොතට එක්වූයේය. රෝහිත්ට පෙර තනි ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු ලබා සිටි පිතිකරුවා වූයේ 2003 තරගාවලියේදී ලකුණු 673 ක් ලබාගත් සචින් තෙන්ඩුල්කාර්ය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත් නමුත් ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ භයංකාර ආරම්භයකි. ඕවර 12 ක් අවසන් වීමටත් මත්තෙන් ලකුණු 55 කට ඉදිරිපෙළ පිතිකරුවන් සිව්දෙනකු දැවී යාම නිසා ඉනිම කඩාවැටිණ. දෙදෙනාගේම තරග සංඛ්‍යාව එකතු කළ කල්හි, එක්දින තරග 335 ක අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් (212) සහ ළහිරු තිරිමාන්න (123) හෙමි හෙමින් ඉනිම පිළිසකර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත හැකිවිය.

සිය පළමු වැනි ලෝක කුසලාන ශතකය ලබාගත් මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ස්ථාවර ස්ථානය දක්වා කැඳවාගෙන ගිය නියමුවා විය. ළහිරු තිරිමාන්න සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මැතිව්ස් පසුව ධනංජය ද සිල්වා සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය.

කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා තමන් බව නැවත වරක් තහවුරු කළ මැතිව්ස්, සිය පළපුරුද්දේ වටිනාකම පෙන්වා දුන්නේ ලකුණු ලබාගැනීම ක්‍රමාණුකූලව වේගවත් කරමිනි. පළමු ලකුණු 25 ලබාගැනීම සඳහා මැතිව්ස් මුහුණ දුන් පන්දු 50 න් පන්දු 30 ක් නිලකුණු පන්දු විය. ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා සිය අර්ධ ශතකය ලබාගන්නා විට ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 50.00්‍ර සිට 65.79% දක්වා ඉහළ නැග තිබිණ. පන්දු 115 කින් ශතකය ලබාගත් මැතිව්ස් දැවී යන විට ප්‍රහාරාත්මක වේගය 88.28% ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතරම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 250 සීමාව ද ඉක්මවා ගොස් තිබිණ.

මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව යැවුණු අවසන් පන්දු 10 න් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි.  මැතිව්ස්ට අගනා සහයෝගයක් දුන් ළහිරු තිරිමාන්න සිය සුපුරුදු තරග රටවට අවතීර්ණ වෙමින් ලබාගත් ලකුණු 53 හතරේ පහර 4 කින් සමන්විත විය.

පිත්ත ඇද කරමින් කට් පහරක් ගැසීමට උත්සාහ කළ දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 10 කට අවසන් කළ බුම්රා කුසල් පෙරේරාගේ සිරුර හරහා පන්දුව යවමින් පා ඉන්න පැත්තේ පහරකට පිතිකරුවා පෙළඹවූයේය. ප්‍රතිඵලය වූයේ පිත්තේ ඇතුළත දාරයේ ගෑවුණු පන්දුව දෝනි අත පත්වීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව හොඳින් අධ්‍යනය කළ ඉන්දීය නායකයා තමන්ගේ පන්දු යවන්නන් තෝරා ගැනීමේදී මනාව උපක්‍රමශීලී වූයේය. ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ දකුණත් පිතිකරුවන් සිටින ඉහළ කොටසේදී සිය වමත් පා දඟ පන්දු යවන්නා වූ රවීන්ද්‍ර ජදේජා සේවයට කැඳවූ ඉන්දීය නායකයා කුසල් මෙන්ඩිස්ට ස්ථාවර වීමට නොදී පිටියෙන් ඉවත් කරගත්තේය.

අති දක්‍ෂ පිතිකරුවකු වන නමුත් ලකුණු අතර නොසිටින කුසල් මෙන්ඩිස්ව දිගින් දිගටම පීඩනයට පත්කළ පන්දු යවන්නා මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දු 7 න් ලබාගැනීමට අවසර දුන්නේ ලකුණක් පමණි. පන්දු 12 කට මුහුණ දීමෙන් පසුව වුවත් සිය නමට ඉදිරියෙන් තිබුණේ ලකුණු 3 ක් පමණක් බැවින් මෙන්ඩිස් මහත් නොසන්සුන්ව සිටියේය. පන්දුව තමන් වෙත එන තෙක් බලා සිටිනවා වෙනුවට පන්දුව වෙත ගොස් පහර දීමට උත්සුක වූ මෙන්ඩිස්ට පිටුපසින් සිටියේ අන් කවරෙකු හෝ නොව, ලොව හොඳම කඩුලු රකින්නාය. ඔහුට වැරදී ඇත්තේ කලාතුරෙකිනි.

හර්දික් පාණ්ඩ්‍යා මඳ වේගී පන්දුවකින් අවිශ්ක ප්‍රනාන්දු මුළා කළේය. හතරේ පහර 4 ක් ඇතුළත් වූ අවිශ්කගේ පන්දු 21 ඉනිම ලකුණු 20 කදී නිමා වූයේය.

 

ප්‍රසාද ලකුණු සටහන

..


අදහස් (0)

ලෝකේෂ් - රෝහිත් ශ්‍රී ලංකාවට රිදෙන්නම තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.