Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය නැඟිටී

ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය නැඟිටී

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොම් ලෙතම්ගේ ධෛර්වයත් පිතිහරඹය නිසා ශ්‍රී ලංකාවට සාර්ථක පිළිතුරක් දීමට සූදානම් වන නවසීලන්ත කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියේය. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගයේ දින තුනක් ඉක්ම ගියද තවමත් පළමු දෙපිලේම පළමු ඉනිම අවසන් කරගත නොහැකි වී තිබේ.

නවසීලන්තය මහත් බලාපොරොත්තු තැබූ පිතිකරුවන් වූ කේන් විලියම්සන්  (20), රොස් ටේලර් (23) සහ හෙන්රි නිකොල්ස් (15) තිදෙනාම එකතු කළේ ලකුණු 58 ක් පමණි. එහෙත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීම තනිවම කරට ගත් ආරම්භක පිතිකරු ටොම් ලෙතම් විනාඩි 267 ක් පුරා සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ලකුණු 111 ක් ලබාගත්තේ පන්දු 184 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත වූයේය.

ලේතම් හැරුණු විට නවසීලන්තයේ සෙසු පිතිකරුවන්ගෙන් දිගු ඉනිම වාර්තා නොවූ නමුත් ලේතම් සමග සම්බන්ධතා දිගහැරිණ. දෙවැනි, තුන්වැනි, සිව්වැනි සහ පස්වැනි කඩුලු වෙනුවෙන් පැවැති සම්බන්ධතා පිළිවෙලින් 33 ක්, 50 ක්, 42 ක් සහ 70 ක් ලෙසින් සටහන් වූයෙන් පස්වැනි කඩුල්ල බිඳ වැටීමට පෙර ලකුණු 196 ක් පුවරුවට එක්ව තිබිණ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙම තරගයේදී දක්නට ලැබුණ පැහැදිළි වෙනස්කම වූයේත් එයමය.
නවසීලන්ත ඉනිමේ ඕවර 16 ක් නිමාවෙද්දී ළහිරු කුමාරගේ පන්දුවක් රැකගැනීමට ගිය නිරෝෂන් දික්වැල්ලගේ සුළැඟිල්ල තුවාල විය. ඒ හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ සිටි දිනේෂ් චන්දිමාල්ට නැවත වරක් ටෙස්ට් පිටියට පිවිස කඩුලු රැකීමේ අවස්ථාව උදාවිය.

සාමාන්‍යයෙන් අතිරේක ක්‍රීඩකයකුට කඩුලු රැකීමේ අවස්ථාව නොදෙන නමුත් ටෙස්ට් ලෝක ශූරතාවලියට අදාළ නවතම නීති රීති අනුව අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ සිටින ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට හෝ කඩුලු රැකීම කළ හැකිය.

මැනවින් පන්දුව පාලනය කරමින් සහ තම සීමාව මනා ලෙස යොදාගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවාගනිද්දී තවමත් සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ලසිත් ඇඹුල්දෙණිය තමන්ට දිගු අනාගතයක් ඇති බව මොනවට පෙන්නුම් කරමින් සිටියේය. පිත්තෙන් කළ මෙහෙය පන්දු රැකීමේදීත් අත් නොහළ ධනංජය ද සිල්වා ස්ලිප් ස්ථානයේ සිට උඩපන්දු තුනක් රැකගත්තේය.

ශ්‍රී ලංකා මුල් ඉනිමේදී හුදෙකළා සටනක නිරත වූ ධනංජය ද සිල්වාගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු 244 ක් ලබාගැනීමට සත්කාරක පිලට හැකිවිය. ලකුණු 93 කට කඩුලු 4 ක් දැවී තිබියදී පිටියට පිවිසි ධනංජය ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගියේ 244 වැනි ලකුණත් පුවරුවට එක්වූවාට පසුවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි විශිෂ්ට ගණයේ පුහුණුකරුවකු වූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඞ් මහතා විසින් ‘අයිස්’ යයි නම් කරන ලද ධනංජය ලොව පරසිඳු පන්දු යවන්නන් වූ මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් හමුවේ 2016 දී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගාවලියේදීද මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේය. අද ඔහු සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ ටෙස්ට් කඩුලු 500 ක හිමිකරුවන් වන ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති දෙදෙනා අබිමුව නොසැලී සිටිමිනි.

සිරුර එල්ලයේ පන්දු යවමින් සිටි ට්‍රෙන්ට් බෝල්ට්ට හුක් පහරකින් සංග්‍රහ කරමින් ලකුණු 6 ක් ලබාගත් ධනංජය සිය ඉනිමේ අවසන් කොටසේදී අනෙක් අන්තයේ පිතිකරුවා ආරක්‍ෂා කරගනිමින් පන්දුවට මුහුණ දුන්නේය. ලකුණු 9 දී බෝල්ට්ගේ පන්දුවකට දුන් උඩපන්දුව, පන්දු යවන්නා විසින්ම අතහරිනු ලැබීමෙන් පසුව ධනංජයගෙන් ශ්‍රී ලංකා ඉනිමට එක්වූ ලකුණු සංඛ්‍යාව 100 කි.

තරගය ඉතාමත් මන්දගාමී ලෙසින් ගලා යන්නේ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් දෙපිලෙන් කිසිවකුට හෝ උනන්දුවක් නැති ලෙසින් යයි පෙනෙන්නට තිබුණත් නිකරුණේ කඩුලු වීසි කරමින් අවදානමක් ගැනීමේ සූදානමක් නවසීලන්තයට නැත. නවසීලන්තය පළමු ඉනිමේදී මුහුණ දුන් ඕවර 62 දීම ඔවුන්ගේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 3.16 ක රැඳී තිබිණ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේදී ජයග්‍රහණයක් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60 කි. එහෙත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන්නේ නම් කණ්ඩායමකට හිමිවන ලකුණු සංඛ්‍යාව 20 කි. එසේ වුවහොත් තරගාවලිය නිමාවේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 80 ක්ද නවසීලන්ත පිලට ලකුණු 20 ක් ද හිමිවනු ඇත.

ඡායාරූප - චතුර - එස්. කොඩිකාර


අදහස් (0)

ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය නැඟිටී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.