Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් දිගු ඉනිමක් කරා

රූට් දිගු ඉනිමක් කරා

දමින්ද විජේසූරිය - 2021 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නායක ජෝ රූට් ලබාගත් ශතකයෙන් සවිමත් වූ එංගලන්ත කණ්ඩායම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 320 ක් ලබා සිටියේය. තවත් ද්විත්ව ශතකයක් සොයා යමින් සිටින රූට්, තරගයේ දින තුනක් ඉතිරිව තිබියදීම එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 185 ක් ඉදිරියට ගෙන ගොස් තිබේ.

කෝඩුකාර ඩැනියල් ලෝරන්ස් (73) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ එංගලන්ත නායකයා ලකුණු 66 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමට යාමෙන් යන්තමින් සිය කඩුල්ල බේරා ගත්තේ විනිසුරුවරයාගේ සැකයේ වාසිය පිතිකරුවාට හිමිවීමෙනි. එතැන් සිට පසුපස නොබැලූ රූට් සිය 18 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේ පන්දු 163 කිනි. දිනය නිමා වනවිට රූට්ගේ පිත්තෙන් ඇදීගිය හතරේ පහර සංඛ්‍යාව 12 කි.

සිය 98 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජෝ රූට් පසුගිය වසරේදී ටෙස්ට් ශතකයක් ලබානොගැනීම හේතුවෙන් ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනා අතරින් පහළට වැටිණ. මේ වන විටත් ටෙස්ට් ද්විත්ව ශතක තුනක හිමිකරුවකු වන එංගලන්ත නායකයා ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 ඉක්මවා ගිය  8 වැනි අවස්ථාව මෙයයි.

තවමත් 23 හැවිරිදි පිතිකරුවකු වන ඩැනියෙල් ලෝරන්ස් ලකුණු 40 ක් ලබා සිටියදී ස්ටම්ප් කරගත හැකිව තිබූ අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල වෙතින් ගිළිහී ගියේය. ලසිත් ඇඹුල්දෙණියට එම අවස්ථාවේදී කඩුල්ල හිමිකරගත හැකිවූයේ නම් ලකුණු 206 දීම එංගලන්ත පිලේ සිව්වැනි කඩුල්ල බිමදමා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට තිබිණ. එහෙත් ලකුණු 60 ක් සහ 68 ක් ලබා සිටියදී දුන් උඩපන්දු දෙකක්ම පිළිවෙලින් කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල අතින් ගිළිහී ගියේ පන්දු යවන්නන්ගේ අවාසනාව ප්‍රදර්ශනය කරමිනි.

තරගයේ පළමු දිනයේදී පිතිකරුවන් ලෙසින් අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ පන්දු රකින්නන් ලෙසින්ද අසාර්ථක වූ අකාරය පහසුවෙන් දැකගත හැකිවිය.
හෙට තරගයේ තුන්වැනි දිනයයි.


අදහස් (0)

රූට් දිගු ඉනිමක් කරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.