Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් - බෙයාර්ස්ටෝ සටනට පිවිසෙති

රූට් - බෙයාර්ස්ටෝ සටනට පිවිසෙති

editorial - 2021 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාර්ථක පිතිහරඹයකින් පසුව එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පැය භාගයක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට යැවූ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අභිප්‍රායයන් සම්පූර්ණයෙන්ම ඉටුකරගැනීමට එංගලන්ත නායක ජෝ රූට් අවසර නොදුන්නේය. ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි අතර රෝ රූට් එයින් ලකුණු 67 ක හිමිකරුවා වී සිටියේය.

විනාඩි 105 ක් පුරා පිටියේ රැඳුණු ජෝ රූට් ස්වීප් පහර මනාව උපයෝගී කරගනිමින් ලකුණු ලබාගනිද්දී ජොනී බෙයාර්ස්ටෝ නිස්කාංසුවේ ලකුණු ලබාගත්තේය. තරගයේ තුන්වැනි දිනය වන හෙට (24 වැනිදා) එංගලන්ත පිතිකරුවන් පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 283 ක් පසුපසින් සිටිමිනි.

ඊයේ නතර කළ තැනින් අද පෙරවරුවේදී ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 381 ක් ලබාගත්තේ පසුපෙළ පිතිකරුවන් වශයෙන් නිරෝෂන් දික්වැල්ල (92) සහ ඩිල්රුවන් පෙරේරා (67) දැක්වූ දස්කම් හේතුවෙනි. අද පෙරවරුවේදීම ඇන්ජලෝ මැතිව්ස් සහ කෝඩුකාර රමේෂ් මෙන්ඩිස් දැවී යාම හේතුවෙන් විනාඩි 16 ක් වැනි කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ කඩුලු දෙකක් බිඳ වැටිණ. ඒ වන විට කඩුලු 6 කට 243 ක් වූ ලකුණු පුවරුව හත්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 89 ක සම්බන්ධතාවකින් ශක්තිමත් කළ නිරෝෂන් දික්වැල්ල සහ ඩිල්රුවන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන් දිගින් දිගටම වෙහෙසට පත්කළහ.

වමත් පිතිකරුවා වන දික්වැල්ල, වෙනදාට වඩා තරමක් ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදුණු අතර ඩිල්රුවන් හීන්සීරුවේ තමන්ගේ ලකුණු කරා ගියේය. එහෙත් පිට ඉන්න පැත්තෙන් ක්‍රීඩකයන් වපුරා, දිගින් දිගටම පිට ඉන්නට එපිටින් පන්දු එවමින් සිටි ජේම්ස් ඇන්ඩසන් අවසානයේදී තමන්ගේ ගොදුර ඩැහැගත්තේය.

පිට ඉන්නට තරමක් ඈතින් පතිත වූ පන්දුව ක්‍රීඩකයන්ගේ හිසට ඉහළින් හතරේ සීමාවට යැවීමට දික්වැල්ල උත්සාහ කළ නමුත් එක්ස්ට්‍රා කවර්ස්හි සිටි උස ක්‍රීඩකයකු වන ජැක් ලීච් සිය දකුණතට ඈතින් යන පන්දුවේ එල්ලුණේ දික්වැල්ල මහත් බලාපොරොත්තු තබා සිටි මංගල ටෙස්ට් ශතකය අහිමි කරමිනි. පැය 4 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 144 කට මුහුණ දුන් නමුත් දික්වැල්ල ශතකය පෙනි පෙනී දැවී ගියේය. ඒ සමගම ආසියානු කලාපයේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් වයස්ගතම පන්දු යවන්නා ලෙසින් ජේම්ස් ඇන්ඩසන් වාර්තා පොතට එක්විය.

මේ වන විට 38 වැනි වියේ පසුවන ජේම්ස් ඇන්ඩසන් ටෙස්ට් තරග 156 කදී කඩුලු 606 ක් දවාගෙන සිටින අතර මෙම තරගයට එක්වූයේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට විවේක දීමටය.

දික්වැල්ල දැවී ගියද අනෙක් අන්තයෙන් සිය කඩුල්ල රැකගත් ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 21 කට පසුව අර්ධ ශතකයක් ලබාගත්තේය. පන්දු 170 කට මුහුණ දුන් ඩිල්රුවන් හතරේ පහර 8 කින් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

 


අදහස් (0)

රූට් - බෙයාර්ස්ටෝ සටනට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.