Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුද හමුදාවෙන් ඕවර 50 කදී ලකුණු 514

යුද හමුදාවෙන් ඕවර 50 කදී ලකුණු 514

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

තුලින ඩිල්ෂාන් (137), තිසර පෙරේරා (110) සහ අසේල ගුණරත්නගේ (නොදැවී 107) විශිෂ්ට පිතිහරඹයන් හමුවේ ආරක්ෂක සේවා සීමිත ඕවර (50 ඕවර) ක්‍රිකට් තරගාවලියේදී නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 514 ක් ලබාගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. හොරණ, දොඹගොඩ, යුදහමුදා ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති මෙම තරගයකදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 56 කට දැවී ගිය හෙයින් යුද හමුදා පිලට ලකුණු 458 ක දැවැන්ත ජයක් හිමිවිය. 

කාසියේ වාසිය දිනාගත් නාවික හමුදා පිල පළමුව පන්දුවට පහරදීම සඳහා යුදහමුදා පිලට ආරාධනා කළේය. තුලින ඩිල්ෂාන්, තිසර පෙරේරා සහ අසේල ගුණරත්න තිදෙනාම වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ශතක ලබාගත් අතර අශාන් රන්දික සහ සීකුගේ ප්‍රසන්න අර්ධ ශතක ලබාගනිමින් යුදහමුදා පිල ලකුණු 500 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

තුලින ඩිල්ෂාන් පන්දු 115 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 137 ක් ලබාගත් අතර තිසර පෙරේරා පන්දු 52 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 110 ක් ලබාගත්තේය. වඩාත්ම ආක්‍රමශීලී පිතිකරුවා වූ අසේල ගුණරත්න පන්දු 39 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 107 ක් ලබා ගත්තේය. 

අශාන් රන්දික පන්දු 41 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 72 ක් ලබාගත් අතර සීකුගේ ප්‍රසන්න පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් ලබාගත්තේය.

අශාන් රන්දික සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 69 කදි ලකුණු 111 ක සම්බන්ධතාවයක්ද, සීකුගේ ප්‍රසන්න සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 101 කදි ලකුණු 102 ක සම්බන්ධතාවයක්ද, තිසර පෙරේරා සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී තවත් ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට තුලින ඩිල්ෂාන් සමත්විය. තිසර පෙරේරා සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 139 ක සම්බන්ධතවයක් පැවැත්වූ අසේල ගුණරත්න ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා හිමාෂ ලියනගේ සමගින් එක්ව පන්දු 12 කදී තවත් ලකුණු 40 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

නාවික හමුදා පිලේ නායකයා පන්දු යැවීම සඳහා ක්‍රීඩකයන් 7 දෙනෙකු යොදාගත් නමුත් ඔවුන් සියලුදෙනාම පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 515 ක ඉලක්කයක් හඹාගිය නාවික හමුදා පිලට ඕවර 24.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 56 ක් පමණි. ලකුණු 12 ක් ලබාගත් නායක තුෂාර සමරකෝන් නාවික හමුදා පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට යුදහමුදා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

තුලින ඩිල්ෂාන්, යශෝධ මෙන්ඩිස්, තරිඳු කෞෂාල් සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

යුදහමුදාව - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 514
(අශාන් රන්දික 72, තුලින ඩිල්ෂාන් 137, සීකුගේ ප්‍රසන්න 68, තිසර පෙරේරා 110, අසේල ගුණරත්නගේ නොදැවී 107, ඩිලන්ක අවඩ් 67/2)
නාවික හමුදාව - ඕවර 24.5 කදි සියලුදෙනා දැවී 56
(තුෂාර සමරකෝන් 12, තුලින ඩිල්ෂාන් 07/2, යශෝධ මෙන්ඩිස් 08/2, තරිඳු කෞෂාල් 18/2, සුමින්ද ලක්ෂාන් 13/2)


අදහස් (1)

යුද හමුදාවෙන් ඕවර 50 කදී ලකුණු 514
  • Shashika Monday, 26 April 2021 02:20 PM

    ගොඩක් විශිෂ්ඨ පිතිහරඹයක්... යුද හමුදා ක්‍රීඩකයින්ගෙන්... 500 කියන්නේ ඉතා වැඩි ලකුණු සංඛ්‍යාවක්... ඒකයි නාවික හමුදා කණ්ඩායමට ලකුණු 50 වලින් සෑහීමකට පත්වෙන්න සිදු වූයේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.