Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට

යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට

යොහාන් භාසුර - 2020 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ.

ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්ස් අතර අවසන් මහ තරගය සූරියවැවදී බදාදා (16) රාත්‍රී පැවැත්වේ.

වනිඳු හසරංග යාපනය ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කරුවකු බවට පත්වෙමින් උපුල් තරංගගේ ඉනිම ලකුණු 33 කට සීමා කරමින් දඹුල්ල පිලේ අවසන් බලාපොරොත්තුවත් ක්‍රීඩාගාරයට හරවා යැවීය. වනිඳු ඕවර හතරේදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 15 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය. දඹුල්ල පිල ලකුණු 11 ක් තුළ කඩුලු තුනක් බිඳ වැටී 11 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 73 කට කඩුලු පහක් බවට පත්ව අමාරුවේ වැටුණි.

දසුන් ශානක (5) පළමු වරට මෙම තරගාවලියේදී අසාර්ථක වෙමින් දුවද්දී දැවී යෑම යාපනය පිලට අතිරේක ප්‍රසාද දීමනාවක් බදුවිය. උස්මාන් ශින්වාරි දක්‍ෂ පන්දු රැකීමක නිරත වෙමින් පන්දුව කෙළින්ම කඩුල්ලට යොමුකරමින් ලබාගත් දුවද්දී දැවී යෑම් දෙක යාපනය ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය.

යාපනය නායක තිසර පෙරේරා පන්දු යවන්නන් අට දෙනකු යොදාගත්ත ද ඔහු පන්දු නොයැවීම කැපී පෙනුණි. ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කින් ලකුණු 29 ක් ලබා සිටියදී චරිත් අසලංක හමුවේ දැවී ගියේය. දික්වැල්ල සහ තරංග තුන්වැනි කඩුල්ලට පන්දු 31 කින් ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

යාපනය ඉනිමේ අවසන් ඕවර හතරේදී ලකුණු 24 ක් පමණක් එකතු වීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමේ අවස්ථාව මඟහැරුණි. මාලින්ද පුෂ්පකුමාර අනගි පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගනිමින් යාපනය ඉනිම අණපණ කිරීමට පෙරමුණ ගත්තේය.

කසුන් රාජිත 18 වැනි ඕවරය ලකුණු හතරකට සහ ළහිරු කුමාර 19 වැනි ඕවර ලකුණු අටකට අවසන් කරමින් කඩුලු හතකට ලකුණු 158 ක් බවට පත්කිරීමට සමත් වූහ. ළහිරු කුමාර සැළසුම්ගතව 17 වැනි ඕවරයේදී පිට ඉන්නේ ‘වයිඞ්’ පන්දු සීමාරේඛාව ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයෙන් එම ඕවරයේදී ජොනතන් චාල්ස් සහ ධනංජය ද සිල්වා (1) දැවී යෑමෙන් දඹුල්ල පන්දු යවන්නෝ පාලනයට නතුකරගත්හ.

චාල්ස්ගේ අනගි ඉනිම අන්වර් අලීගේ විශිෂ්ට උඩ පන්දු රැකීමෙන් ලකුණු 76 කට සීමාවිය. චාල්ස් මුහුණ දුන් පන්දු 56 න් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සටහන් කළේය. අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 26 කින් ලකුණු 39 ක් රැස්කළ අතර එයට හතරේ පහර දෙකක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය. අවිෂ්ක සහ චාල්ස් පන්දු 51 කින් ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ගෙන දුන්න ද මැද පෙළ අසාර්ථක විය.
 

යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 165
(අවිෂ්ක ප්‍රනාන්දු 39, ජොන්සන් චාල්ස් 76, වනිඳු හසරංග 14, මාලින්ද පුෂ්පකුමාර 24/2, අන්වර් අලී 27/1, ළහිරු කුමාර 30/1, රමේෂ් මෙන්ඩිස් 10/1)
 

දඹුල්ල වයිකිංස් පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 128
(නිරෝෂන් දික්වැල්ල 29, උපුල් තරංග 33, රමේෂ් මෙන්ඩිස් 26, සුරංග ලක්මාල් 24/1, ධනංජය ද සිල්වා 23/1, චරිත් අසලංක 7/1, වනිඳු හසරංග 15/3, ඩුඈන් ඔලිවර් 35/1, චතුරංග ද සිල්වා 0/1)
 

 


අදහස් (0)

යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.