Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් පස්වැනි ශූරතාව සොයයි

මුම්බායි ඉන්දියන්ස් පස්වැනි ශූරතාව සොයයි

දමින්ද විජේසූරිය - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ලොව ධනවත්ම හා වඩාත්ම සාර්ථක විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම ලෙස දැනටමත් සැලකෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු වරට පිට පිට ශූරතා දෙකක් දිනා ගනිමින් විස්සයි-20 ක්‍රිකට් පිිටියේ තමන්ගේ බලවත්භාවය තවදුරටත් අවධාරණය කිරීමට මෙවර උත්සාහ කරනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අබුඩාබි නුවරදී අද (19 වැනිදා) ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියේ 13 වැන්නේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ එකම අරමුණ එයයි.

කොරෝනා වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය හමුවේ අර්බුද රැසකට මුහුණ දුන් අයි.පී.එල්. තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 8 කි.

වත්මන් ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකු වන රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිනිය නීතා අම්බානි මහත්මියයි. ඇය ඉන්දියාවේ ධනවත්ම මිනිසා වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන  මුකේෂ් අම්බානි මහතාගේ බිරිඳ වන්නීය.

ශ්‍රී ලංකාවේ හිටපු නායකයකු වන සනත් ජයසූරියත්, වත්මන් විස්සයි-20 නායකයා වන ලසිත් මාලිංගත් ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල අයි.පී.එල්. ඉතිහාසයේදි දිනාගන්නා ලද ශූරතා සංඛ්‍යාව 4 කි.

වසර 2010 දී සහ 2011 දී පිට පිටම ශූරතා දෙකක් දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වාර්තාව සමකිරිමට මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර උත්සාහයයි. චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව තරගාවලියේ සමාරම්භක තරගයට මුහුණ දෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බුකිකරුවන්ගේ ප්‍රියතම තේරීමයි.

මුම්බායිහි මූල්‍ය ශක්තිය ශක්තිමත්ය.
වසර 2008 දී ඩොලර් මිලියන 100 කට මුම්බායි ඉන්දියන්ස් පිල මිලදී ගත් අම්බානිගේ මේ වන විට ලොව දෙවන ධනවත්ම ක්‍රීඩා කණ්ඩායමේ හිමිකාරිනිය බව ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රේණිගත කරනු ලැබ ඇත.  ලොව ධනවත්ම ක්‍රීඩා කණ්ඩායම් ලයිස්තුවේ මුල්තැන හිමිවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ හිටපු ප්‍රධාන විධායක ස්ටීව් බෝල්මර් අයිතිවාසිකම් කියන  ලොස් ඇන්ජලීස් ක්ලිපර්ස් කණ්ඩායමයි.

ඉකොනොමික් ටයිම්ස් පුවත්පතේ ඇස්තමේන්තුවකට අනුව, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වත්මන් වටිනාකම ඩොලර් මිලියන 115 කි. එය අයි.පී.එල්. තරගාවලියේදී කණ්ඩායමකට ලැබී ඇති ඉහළම වටිනාකමයි.

මුම්බායි ඉන්දියන්ස් පිලට ඇත්තේ සුවිශේෂී ක්‍රීඩා විලාසයකි. ඔවුන්ගේ ආරම්භක නායකයා වූ සචින් තෙන්ඩුල්කාර් හෙවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ‘දෙවියෝ‘ දැන් විශ්‍රාම ගොසිනි. එහෙත් ක්‍රිකට් දෙවියන්ගේ බලපෑම මුම්බායි පිලට තවමත් තිබේ. දෙවියන්ගේ පුතා වන අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි පිලට එක්වී සිටින්නේ පුහුණු දැළ තුළ පන්දු යවන්නකු ලෙසිනි.
කෙසේ වෙතත් අර්ජුන් තෙන්ඩුල්කාර් පුහුණු දැළ තුළ පන්දු යවන්නකු කිරීම සමබන්ධයෙන් ඉන්දියාවේ ක්‍රිකට් දෙවියන්ට වඩාත් දුර පෙනෙන අදහසක් තිබේ.
එනම් රෝහිත් ෂර්මා, කිරන් පොලාර්ඩ් මෙන්ම ක්වින්ටින් ඩි කොක් වැනි අනුකම්පා විරහිත පිතිකරුවන් හමුවේ පන්දු යැවීමට යවමින් දේව පුත්‍රයා වන අර්ජුන්ගේ පන්දු යැවීම ඔප මට්ටම් කිරීමයි.

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ සදාතනික වීරයකු වන්නේ 2019 තරගාවලියේ අවසන් මහ තරගයේ අවසන් ඕවරයේදී සිය කණ්ඩායමට ශූරතාව දිනා දීම වෙනුවෙනි. ලසිත් මාලිංග තීරණාත්මක අවසන් ඕවරය යවන විට කණ්ඩායමේ පුහුණුකරුවා වූයේ අනෙකකු නොව ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධනයි.
කෙසේ වෙතත් ලසිත් මාලිංගත් මෙම පිරිස අතරට එක්වීමට සිටි නමුත් මේ වසරේදී සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත්ව සිටී.

ලකුණු අතර නොසිටීම හේතුවෙන් හිටපු නායක රිකී පොන්ටිං 2013 දී නායකත්වයෙන් ඉවත් විය. පසුව  ෂර්මා නායකත්වයට පත් වූ විට මුම්බායි ඉන්දියන්ස් පිල විස්සයි-20 ක්‍රිකට් පිටියේ අමතක කළ නොහැකි බලවේගයක් බවට පත්විය.

තවමත් 33 හැවිරිදි දකුණත් පිතිකරුවා වසර 2011 දී මුම්බායි හා එක්වූ දා සිට තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 3,728 ක් රැස් කර ඇතුවා පමණක් නොව, 2013, 2015, 2017 සහ 2019 යන වසර වලදී සිය කණ්ඩායමට ශූරතාව දිනා දුන් නායකයාද විය.

බටහිර ඉන්දීය පිලේ ප්‍රවේගවත් පිතිකරු කිරාන් පොලාර්ඩ් සහ ඉන්දියාවේ අසහාය වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිත් බුම්රාත් මුම්බායි පිලට ජවය මෙන්ම වේගයද එන්නත් කරති.

මුම්බායි ඉන්දියන්ස් පිල විසින්  ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන නේතන් කූල්ටර්-නයිල් පසුගිය දෙසැම්බර් වෙන්දේසියේදී ඩොලර් මිලියන 1.12 කට මිලදී ගත්තේය.

“ලෝකයේ වඩාත්ම සාර්ථක විස්සයි-20 කණ්ඩායම වෙත නැවත පැමිණීම සතුටක්” යැයි කූල්ටර්-නයිල් පැවසීය.

"නිසැකවම මා සම්බන්ධ වූ කණ්ඩායම විශිෂ්ඨයන්ගෙන් පිරී තිබුණ එකක්. රිකී පොන්ටිං, සචින් තෙන්ඩුල්කාර්, හර්බජන් සිං, රෝහිත් ෂර්මා වගේ අය එහි හිටියා...මේ කණ්ඩායම දැන් නැවත වරක් එවැනි ශ්‍රේෂ්ඨයන් නිර්මාණය කරමින් සිටිනවා දැකීමට නැවත පැමිණීම සතුටක් " යයි කූල්ටර්නයිල් පැවසීය.

මුම්බායි ඉන්දියන්ස් පිලට වේග පන්දු යවන ලසිත් මාලිංග අහිමි වීම විශාල පහරක් විය. ඒ ඔහුගේ පන්දු ඕවර 4 න් ලැබෙන පිටිවහල පමණක් නිසා නොවේ. විස්සයි-20 ක්‍රීඩාවේ පන්දු යවන්නකු වශයෙන් ඔහුට ඇති අත්දැකීම් අහිමි වීමත් මුම්බායි ඉන්දියන්ස් පිලට විශාල අවාසියකි.

විස්සයි-20 තරඟ 122 කදී කඩුලු 170 ක් දවාගනිමින්, අයි.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන මාලිංග නොමැතිව වුවද  මුම්බායි හි රසිකයන් තවමත් අපේක්ෂා කරන්නේ තම කණ්ඩායම කුසලානය ගෙදර ගෙනෙනු ඇති බවයි.

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පස්වැනි ශූරතාව සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.