Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිලියන 87 ක් කපාහැරීම ප්‍රශ්න කෙරේ

මිලියන 87 ක් කපාහැරීම ප්‍රශ්න කෙරේ

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
දමින්ද විජේසූරිය
------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අද (6 වැනිදා) කෝප් කමිටුව හමුවට ගිය අවස්ථාවේදී රුපියල් මිලියන 87 ක වියදම් කපාහැරීමේ ප්‍රශ්නය ඉස්මතු වී තිබේ. කෝප් කමිටු නිලධාරීන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිතුර වී ඇත්තේ මෙම වියදම් ලයිස්තුව වසර 2006 සිට දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් වාර්තාවට ඇතුළත් වන බැවින් එය අහෝසිකර දමා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශ්වකරුවන් වන සාමාජිකත්වයේ පූර්ණ අනුමැතිය ඇතිව බවයි.

“මේක අවුරුදු 14 ක් තිස්සේ දිගින් දිගටම ක්‍රිකට් ගිණුම් වාර්තාවට ඇතුළත් වන දෙයක්. ඒත් එක පියවා ගන්න විදිහක් නැති නිසා අපි මේ වතාවේ (2020 වසර සඳහා) ගිණුම් වාර්තාව සකස් කරන විට ඒක ඉවත් කරන්න විදිහක් කතා කළා”

“පස්සේ සුප්‍රකට විගණන සමාගමක් වන අර්නස්ට් ඇන්ඩ් යංග් සමාගමේත් උපදෙස් අරගෙන, ඒ යෝජනාව ක්‍රිකට් කමිටුවට දාලා, විධායක කමිටුවේත් අනුමැතිය අරන්, අති විශේෂ මහ සභා රැස්වීමකදී සාමාජිකත්වයටත් දාලා ඒ අයගේත් අනුමැතිය අරන් තමයි ඒක කපාදාලා තියෙන්නේ... ඇරත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ රුපියල් බිලියන 7 ක වාර්ෂික පිරිවැටුමක් තියෙන ආයතනයක්.. ඉතින් අවුරුදු 14 ක් වගේ කාලයක් වෙනකොට රුපියල් මිලියන 87 ක් කියන්නේ දරාගත හැකි ප්‍රමාණයක්... අපි ඒ බව කෝප් කමිටුවට පැහැදිළි කරලා දුන්නා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවයේ නියුතු උසස් නිලධාරියෙක් පැවසීය.

කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අද කැඳවන විට, ඒ සඳහා සහභාගි වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබිණ.

ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඊයේ (සඳුදා)  කළ දැනුම්දීමක් අනුව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු හිටපු නිලධාරීන් ද කෝප් කමිටුව හමුවට ගියහ. එහෙත් අවසන් මොහොතේදී කෝප් කමිටුවේ තීරණය වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළමණාකරණ කමිටුවක් පත්කර ඇති බැවින් හිටපු නිලධාරීන්ගේ පැමිණීම අවශ්‍ය නොවන බවත් ස්ථිර සේවකයන් පමණක් කමිටුව හමුවට පැමිණිය යුතු බවකි.

ඒ අනුව ශම්මි සිල්වා ඇතුළු හිටපු නිලධාරීහු අපසු ගියහ. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, මූල්‍ය අංශ ප්‍රධානියා, නීති අංශ ප්‍රධානියා, විගණන නිලධාරියා සහ ගණකාධිකාරවරයකුද ඇතුළුව ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහු කිහිප දෙනෙක් පමණක් කෝප් කමිටුව හමුවට ගියහ.

කෝප් කමිටු රැස්වීම පැය දෙකහමාරක් පමණ පැවැත්විණ.

තණතීරු සකස් කිරීමේදී යොදා ගන්නා ටොන් 20 ක් බරැති තණතීරු තැලීමේ (රෝලර්) යන්ත්‍ර ගෙන්වීම සහ බෙදා දීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානයට ලක්විය. කෝප් කමිටු සාමාජිකයන්ගේ තර්කය වී ඇත්තේ මෙම තණතීරු තැලීමේ යන්ත්‍ර බෙදා දීම ක්‍රීඩා සමාජ වල ඡන්දය ලබාගැනීම සඳහා අල්ලසක් වශයෙන් බෙදා දෙන බවකි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ පිළිතුර වී ඇත්තේ ඉතා විශාල වටිනාකමක් සහිත මෙම තණතීරු තැලීමේ යන්ත්‍ර මිලදී ගැනීමට ක්‍රීඩා සමාජ වලට වත්කමක් නැති හෙයින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් නොවන ක්‍රීඩා සමාජ වලට, ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා උපකාර කළ යුතු වන බැවින්ද මෙම තණතීරු තැලීමේ යන්ත්‍ර ගෙන්වා බෙදා දෙන බවයි.

“ඊයේ පෙරේදා එයාගේ මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක කළුතර පැත්තේ ළමයෙක්... එයා ඉස්සරවෙලාම ක්‍රීඩා කරපු කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයට වත්, බදුරළිය ක්‍රීඩා සමාජයට වත් මේ වගේ තණතීරු තැලීමේ යන්ත්‍ර මිලදී ගන්න තරම් වත්කමක් නෑ...”

“අපි ඒවා කෝප් කමිටුවට තේරුම් කරලා දුන්නා” යයි තවත් නිලධාරියෙක් පැවසීය.

 


අදහස් (0)

මිලියන 87 ක් කපාහැරීම ප්‍රශ්න කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.