Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැද පෙළ පිතිකරුවන්ගේ වෙනසක්

මැද පෙළ පිතිකරුවන්ගේ වෙනසක්

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට...)

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවන්ගේ වෙනසක් එංලන්තයට එරෙහිව ලීඩ්ස්හිදී සිකුරාදා (21) පැවැත්වෙන තරගයේදී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වීමට සිදුවිය. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග තුනේදී පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ප්‍රදර්ශනය විය.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 136 කට, දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 201 කට සහ තෙවැනි තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 247 කට සීමාවිය. මෙම එකම තරගයකදී හෝ ශ්‍රී ලංකා පිල ඕවර 50 පන්දුවට පහරදීමට අපොහොසත් වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිල පෙරේදා (18) පස්වරුවේ හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි විය. එම පුහුණු සැසියට ලසිත් මාලිංග හැර සෙසු සියලුම ක්‍රීඩකයෝ සහභාගි වූහ.

එම පුහුණු සැසියට පෙර කළ විමසුමකදී ශ්‍රී ලංකා පිලේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්නත මෙල් මහතා පැවසුවේ පිතිකරුවන්ගේ වෙනස් කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් සහ මිලින්ද සිරිවර්ධන යන හය දෙනා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළහ. එහිදී තිරිමාන්න, මැතිව්ස් සහ මිලින්ද අසාර්ථක වූ අතර කුසල් මෙන්ඩිස්ගෙන් ද බලාපොරොත්තු සේවයක් නොලැබුණි.

ඇන්ජලෝ මැතිව්ස් තරග තුනේදී ලකුණු නවයක් (0,0,9) පමණක් රැස්කිරීම මැද පෙළ කඩා වැටීමට වඩාත් බලපා තිබේ. අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් තරග තුනේදී ලකුණු 32 ක් (0,2,30) ක් පමණක් රැස්කර තිබේ.    

ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට පිටත්ව ඒමට පෙර ආරම්භක පිතිකරුවන් පිළිබඳ ගැටලුවක් පැවතිය ද දැන් එය විසදී ඇති නමුත් මේ වන විට මැද පෙළ ගැටලුකාරී වී ඇති බවයි.

“දිමුත්, අවිෂ්ක, කුසල් පෙරේරා මෙන්ම ළහිරු තිරිමාන්නත් ආරම්භක පිතිකරුවන් ලෙස සිටියා. ඒත් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී දිමුත් සහ කුසල් සාර්ථක වීමෙන් ආරම්භක පිතිකරුවන්ගේ ගැටලුවක් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

අවිෂ්ක ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ අතිරේක ක්‍රීඩකයන් ලෙස සිටින අතර මැද පෙළ විශාල වෙනසක් කිරීමට සංචිතය තුළ පිතිකරුවන් නොමැත. එකම පිතිකරු වන්නේ යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පමණි.

තිරිමාන්න හෝ මිලින්ද ඉවත්කර පිතිකරුවකු ගේන්නේ නම් ඒ අවිෂ්ක පමණි. එසේ නැත්නම් එම දෙදෙනාම ඉවත් කර අවිෂ්ක සහ ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට ගෙන ආ හැකි අතර අවිෂ්ක අංක හය ස්ථානයේ පන්දුවට පහරදී සාර්ථක වේද යන්න තවත් ගැටලුවකි.   

තිසර පෙරේරා, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන තුන් ඉරියව් ක්‍රීඩකයන් වුවද ඕස්ටේ්‍රලියානු තරගයට පෙර තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසුවේ ධනංජය පිට දඟ පන්දු යවන්නා ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින බවයි.

තිසර සහ ඉසුරු උදානගෙන් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස පිතිකරණයේදී ලැබිය යුතු සේවය මේ දක්වා මෙම තරගාවලියේදී නොලැබීම ද ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමට හේතුවක් වේ.

ශ්‍රී ලංකාව තරග පහකදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පමණක් ජය ලබා ප්‍රසාද ලකුණු හතරක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව අවසන් පූර්ව වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල ඉදිරි තරග හතරෙන් අවම වශයෙන් තරග තුනක් ජය ලැබිය යුතුය.


අදහස් (1)

මැද පෙළ පිතිකරුවන්ගේ වෙනසක්
  • Gayan Thursday, 20 June 2019 05:20 AM

    ඉතාම දුර්වල සංචිතයක් තමා මේ පාර ලෝක කුසලානෙට අරන් ගියේ .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.