Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගට මුම්බායි ඉන්දියන්ස් දොර වැසෙයි

මාලිංගට මුම්බායි ඉන්දියන්ස් දොර වැසෙයි

editorial - 2020 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංග මෙවර අයි.පී. එල්. තරගාවලියට සහභාගි නොවන බව මුම්බායි ඉන්දියන්ස් පිල නිවේදනය කරයි. මාලිංග වෙනුවට ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන්නකු වන ජේම්ස් පැටින්සන්  මුම්බායි ඉන්දියන්ස් පිලට කැඳවා තිබේ.

මුම්බායි ඉන්දියන්ස් පිල පසුගිය 21 වැනිදා නිවේදනය කර සිටියේ අයි.පී.එල්. තරගාවලියේ අවසන් කොටසේදී මාලිංග නැවතත් කණ්ඩායමට එක්විය හැකි බවයි. එහෙත් මෙවර තරගවාරය මාලිංගට අහිමි වන බව ඊයේ වන විට තහවුරු වී තිබිණ.

“මේ තරග වාරයේදී මාලිංගගේ සේවය අපට අහිමි වෙනවා කියන සත්‍ය යෙන් මිදෙන්න අපට පුළුවන් කමක් නෑ“ යයි මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකරුවා වන ආකාශ් අම්බානි මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබිණ.

“ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එකතු වෙනවා. ඔහු දැනටමත් අබුඩාබියේ ඉන්නවා“ යයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සටහන් විය.

ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරන ඉසුරු උදානයි.
අයි.පී.එල්. තරගාවලියේ 13 වැනි අදියර මේ මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

පෞද්ගලික හේතු මත මෙවර ඉන්දීය පීමියර් ලිග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි නොවන බව කියමින් ලසිත් මාලිංග මීට දෙසතියකට ඉහතදී කණ්ඩායමෙන් තාවකාලික නිවාඩු ඉල්ලා සිටියේය. මේ වන විට අසනීපව සිටින සිය පියා අසළින් සිටීම මාලිංගගේ අපේක්ෂාව විය.

අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන මාලිංග, 2009 වසරේදී පළමු වරට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි විය. එතැන් පටන් මේ දක්වා අයි.පී.එල්. තරග 122 කට සහභාගි වී ඇති මාලිංග අයි.පී.එල්. තරග වලදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170 කි.

ඉකුත් වසරේ (2019) පැවැති අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයේදී අවසන් ඕවරය තුළ ලකුණු 9 ක් ආරක්ෂා කරගනිමින් සිය කණ්ඩායමට සිව්වැනි ශූරතාව දිනාදීමටද මාලිංග සමත් වූයේය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම‍ට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී අවසන් ඕවරය ලකුණු 7 කට සීමා කරමින් එහි අවසන් පන්දුවේදී කඩුල්ලක් දවාගත් මාලිංග තරගයෙන් ලකුණු 1 ක ජයක් කරා සිය කණ්ඩායම කැඳවාගෙන ගියේය.

“මාලිංග කියන්නේ පුරාවෘතයක්. ඒ විතරක් නෙමෙයි ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ශක්තියේ ප්‍රධාන පුරුකක්. මෙවර තරගාවලියේදී කණ්ඩායමට ඔහුගේ සේවය නොලැබීම විශාල පාඩුවක්. යැයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාෂ් අම්බානි මහතා පැවසීය.  

“මෙම අවස්ථා‍වේ කණ්ඩායම සුදුසුම ක්‍රීඩකයා විධියට අපිට ‍පැටින්සන්ව හඳුන්වන්න පුළුවන්. ඔහු අපේ වේග පන්දු බළඇණිය තවත් ශක්තිමත් කරාවි. මෙවර තරගාවලිය පැවැත්වෙන ආකාරය  සහ ක්‍රීඩාංගණ සැලකිල්ලට ගත්තාමත් ඔහුගේ පැමිණීම අපිට ලොකු හයියක් වේවි.‍‍” යැයිද  අම්බානි මහතා කියා සිටියේය.


-036


අදහස් (0)

මාලිංගට මුම්බායි ඉන්දියන්ස් දොර වැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.