Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගේ මංකොල්ලය

මාලිංගගේ මංකොල්ලය

editorial - 2019 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

ගෙදර, නැතිනම් තමන්ගේ අය සමග සිටීම පිළිබඳ හැඟීම වෙනස්ම එකකි. කොතෙක් වීරකම් කළද එය තමන්ගේ අය ඉදිරියේ කරන්නට හැකිනම් එහි විශේෂ වටිනාකමක් තිබේ.

ඕනෑම ක්‍රීඩකයකුට තමන්ගේ රටේදී ලබාගන්නා ශතකය හෝ කඩුලු 5 ක්, නැතහොත් සුවිශේෂී කඩයිමක් පසුකර යාමක් විශේෂ වැදගත්කමක් ගෙන එන්නකි. පල්ලෙකැළේදී මාලිංග මුහුණ දී සිටියේත් එවැනි අවස්ථාවකටය.

විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු 100 ක් දවාගත් පළමු වැනි පන්දු යවන්නා වීමේ අවස්ථාව ඊයේ (6 වැනිදා) උදාකර ගත්තේ නැත්නම් එම අවස්ථාව ලැබෙන්නේ පාකිස්තානයේදීය. පාකිස්තානයේ ශ්‍රී ලාංකිකයන් නැත. එහෙත් නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඉතිරි එකම කඩුල්ල දවාගතහොත් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පිවිසි 30,000 කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් සිටිති.

ඕවර 4 ක් තිබේ.

පළමු ඕවරයේදී බේරුණු ආරම්භක පිතිකරුවෝ දෙදෙනා මාලිංග හමුවේ ලකුණු 3 ක් පමණක් ලබාගත්හ. තවත් ඉතිරිව ඇත්තේ පන්දු 18 ක් පමණි. කරන දෙයක් එයින් කළ යුතුව තිබුණද එයිනුත් පන්දු 2 ක් ගියේය. කොලින් මුන්රෝගේ පා ඉන්න එල්ලයේ ඇදී ආ පන්දුව පිත්තට යටින් රිංගා කඩුල්ලට කඩා වැදීමත් සමගින් මාලිංගගේ එක අරමුණක් ඉටුවිය. එනම් ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් හමුවේ 100 වැනි කඩුල්ල දවාගැනීමයි.

එංගලන්තයේ සිට මෙම තරගයටම පැමිණි හමීෂ් රදර්ෆර්ඞ් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි-20 තරග 7 ක් පමණි. තමන්ගේ හොඳම අවියෙන් නවකයාට දමාගැසීමට සූදානම් වූ මාලිංග එය ක්‍රියාත්මක කළේය. පන්දුව පා ආවරණයේ වැදුණ හෙයින් ඉල්ලීමක් කළද එය නිෂ්ප්‍රභා කෙරිණ. කඩුලු රකින්නා වූ කුසල් පෙරේරාගේත් අදහස වූයේ පිතිකරුවා කඩුල්ල ඉදිරියේ සිටි බවයි. ඇරත් වමත් පිතිකරුවා වෙත තමන් යැවූයේ කඩුල්ල තුළට දෝලනය වන පන්දුවක් හෙයින් මාලිංග නොපැකිළවම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමය ඉල්ලා සිටියේය.

විනිසුරුවරයා තීරණය වෙනස් කිරීමත් සමගින් ක්‍රීඩාංගණය ඉතිරෙන්නට සිටි ප්‍රේක්‍ෂකයෝ ඔල්වරසන් දුන්හ.
පිට පිටම පන්දු දෙකකදී කඩුලු දෙකකි. ලකුණු සංඛ්‍යාව 15 රැඳී තිබේ. තරගය වෙනස් කළ හැකි බව මාලිංගට එත්තු ගියේය. එහෙත් පිටියට එන්නේ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්ය.

“මේ තරගාවලියේදී අපට නිතරම කරදරයක් වුණ දෙන්නා තමයි රොස් ටේලර් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්. අනික් තරග දෙකේදීම, අපට අවශ්‍ය වෙලාවෙදි ඒ කඩුලු දෙක දවාගන්න බැරිවුණා...”

“මගේ එකම බලාපොරොත්තුව වුණේ මේ දෙන්නාගේ කඩුලු දවාගත්තොත් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එකයි. ඒ නිසා තමයි මම හිතුවේ යෝකර් දෙකක් දාන්න පුළුවන් වුණ මට තුනක් දාන්න බැරිවෙන්නේ නෑ කියන එක. ඒ නිසා මම ආයෙමත් මානසිකව සූදානම් වෙලා යෝකර් පන්දුව යැව්වා....ඒක සාර්ථක වුණා...”

විස්සයි-20 තරග ඉතිහාසයේ දෙවැනි කඩුලු ත්‍රිත්වය මාලිංග සතුවූයේ එපරිද්දෙනි.
“නියමිත කාලය මැනීමත් ඉලක්කයත් එතැන තිබුණා....ඉතින් මම හිතුවා ඇයි හතරවෙනි එකත් බැරි කියලා. ඒකත් ඒ හා සමානමයි. කණ්ඩායමට අවශ්‍ය කඩුලු දවාගැනීම නම් මට ලකුණු කීයක් ගැහැව්වත් මම ඒ දේ උත්සාහ කරනවා.”

“අවදානම කියන දේ මගේ ජීවිතේ හැමදාම තිබුණා. ක්‍රීඩා කරද්දිත්, ක්‍රීඩාවෙන් පිටත්. ඒ නිසා මම අවදානමට කැමතියි. ඉතින් මම හිතනවා මේක බලන් ඉඳලා පොඩි ක්‍රීඩකයන් අවදානමක් ගන්න ඉදිරිපත් වෙයි කියලා. තරගයක් ජයගන්න පුළුවන් වෙන්නේ එතකොටයි” යයිද මාලිංග පැවසීය.  

ලකුණු 126 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි නවසීලන්ත පිල ලකුණු 88 කට සීමා කරමින් පල්ලෙකැළේදී මාලිංග කළේ එක්තරා ආකරයක මංකොල්ලයකි. මක්නිසාද යත් ලකුණු 125 ක් යනු කිසිසේත්ම විස්සයි-20 තරගයක ජයග්‍රහණයක් කරා යාමට ප්‍රමාණවත් වන ලකුණු සංඛ්‍යාවක් නොවන බැවිනි. මාලිංග තරගය අවසන් කළේ සිය ඕවර 4 තුළදී ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගනිමිනි.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මාලිංග තමන්ගේ දස්කම් සම්බන්ධයෙන් එතරම් ආඩම්බරයෙන් කතා නොකළේය.

“මම දකින්නේ ඒක එක දස්කමක් හැටියට විතරයි. ඒක දැන් වෙලා ඉවරයි. හෙට මට ලකුණු ගැහැව්වොත් මේ කඩුලු 4 ත් ඉවරයි...දස්කමත් ඉවරයි...ඒ නිසා මම ඒක සලකන්නේ තරගයකදී කළ දස්කමක් හැටියට විතරයි”
“කොහොම වුණත්, එක්දින තරග වලදී වගේම විස්සයි-20 තරග වලදීත් පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගැනීමට ලැබුණ එක ගැන මට සතුටුයි. මොකද මම දැන් ක්‍රීඩා කරන්නේ මගේ අන්තිම කාලේ” යයි ද මාලිංග පැවසීය.

ක්‍රීඩාව කුමක් වූවත් ක්‍රීඩකයෝ වියපත් වීමේදී තනි පුද්ගල දස්කම් ගැන උදම් ඇනීමට පසුබට වෙති. එහෙත් තරගයක් කණපිට පෙරළාගත හැක්කේද බොහෝ විට තනි පුද්ගල දස්කම් මතය. එය ඊයේ තරගයේදී මාලිංග විසින් කදිමට ප්‍රදර්ශනය කරන ලද අතර මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තුන්වැනි තරගයේදී බෙන් ස්ටෝක්ස් කළේත් එයමය.

පල්ලෙකැළේදී කඩුලු 4 ක් දවාගැනීමත් සමගින් මාලිංග සුවිශේෂී කඩයිමක් පසුකළේය. එනම් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර්ජාතික ආකාර තුනේදීම කඩුලු 100 ක් බැගින් දවාගත් ලොව එකම පන්දු යවන්නා වීමයි. මේ වන විට ටෙස්ට් සහ එක්දින තරග ආකාර දෙකින්ම සමුගෙන සිටියද ටෙස්ට් කඩුලු 101 ක් සහ එක්දින කඩුලු 338 ක් මාලිංග සතුවෙයි. විස්සයි-20 තරග 76 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 104 කි.

ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුෂලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කිරීම මාලිංගගේ අරමුණයි.

ඡායාරූපය - චමිල කරුණාරත්න


අදහස් (0)

මාලිංගගේ මංකොල්ලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.