Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මායන්ක් අගර්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

මායන්ක් අගර්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව ඉන්දෝර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ද්විත්ව ශතකයක් ලබාගැනීමට ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් (243) සමත් විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අගර්වාල්, පන්දු 330 කදී වාර්තා වූ සිය ද්විත්ව ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 28 කින් සැරසුවේය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දු පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 493 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 343 ක් ඉදිරියෙන් සිටියේය. දිනය නිමාවන විට රවින්ද්‍ර ජදේජා හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 60 ක්ද, උමේෂ් යාදව් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ලකුණු 25 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මේ දක්වා ටෙස්ට් තරග 8 කට ක්‍රීඩා කර ඇති අගර්වාල්ගේ ඉහළම ටෙස්ට් ඉනිම මෙය වන අතර ඔහුගේ දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසද මෙය වාර්තා අතරට එක්වනු ඇත. තරග 8 කදී ද්විත්ව ශතක 2 ක්, ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ඔහු මේ දක්වා රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 858 කි. පුජාරාගේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර රහනේගේ 21 වැනි ටෙස්ට් අර්ධ ශතකයද හතරේ පහර 9 කින් සමන්විත විය.

චෙතේෂ්වර් පුජාරා (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අගර්වාල්, ඉන් නොනැවතී අජින්ක්‍යා රහනේ (86) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 190 ක්ද, රවින්ද්‍ර ජදේජා (නොදැවී 60) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 123 ක්ද එක්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දු යවන්නන් සිවුදෙනෙක් සමගින් මෙම තරගයට සහභාගි වී සිටින අතර ඔවුන් සිවුදෙනාටම එරෙහිව ලකුණු 100 කට වැඩියෙන් ලකුණු රැස්කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ. එහිදී තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ පන්දු යවන්නා බවට පත්වූ අබූ ජයේද් ලකුණු 108 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 150
(මොමිනුල් හක් 37, මුෂ්ෆිකුර් රහීම් 43, ලිටන් දාස් 21, මොහොමඞ් සාමි 27/3, ඉෂාන්ත් ශර්මා 20/2, රවිචන්ද්‍රන් අෂ්වින් 43/2, උමේෂ් යාදව් 47/2)

ඉන්දීය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 493
(මායන්ක් අගර්වාල් 243, චෙතේෂ්වර් පුජාරා 54, අජින්ක්‍යා රහනේ 86, රවින්ද්‍ර ජදේජා නොදැවී 60, උමේෂ් යාදව් 25, අබූ ජයේද් 108/4)


-036

 


අදහස් (0)

මායන්ක් අගර්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.