Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ටස්කර්ස් පිලේ වැඩි බර කුසල්ලාට

මහනුවර ටස්කර්ස් පිලේ වැඩි බර කුසල්ලාට

ශානුක අරවින්ද - 2020 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මහනුවර ටස්කර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වූවද තවත් අන්තර්ජාතික මට්ටමේ කුසලතා ඇති කුසල්ලා දෙදෙනකුම සිටින මහනුවර ටස්කර්ස් පිල තරගාවලියේ ඉතාමත් ශක්තිමත් කණ්ඩායමකි. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන කුසල් ජනිත්ට සහ කුසල් මෙන්ඩිස්ට පිතිකුරුවන් ලෙස කණ්ඩායමේ වැඩි බරක් දැරීමට සිදුව ඇත.

විස්සයි20 තරග 101 කට සහභාගි වී ඇති කුසල් පෙරේරා එහිදී අර්ධ ශතක 19 ක් සමගින් ලකුණු 2249 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 24.18 ක සාමාන්‍යයකට හිමිකම් කියමිනි. එහිදී සිය ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 132.21 ක රඳවාගැනීමටද ඔහු සමත්වී ඇත.

මේ දක්වා විස්සයි20 තරග 49 කට ක්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් එහිදී ලකුණු 1151 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ අර්ධ ශතක 10 ක් සමගිනි. 24.48 ක සාමාන්‍යයකට හිමිකම් කියන ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 138.84 ක් ලෙස සටහන් වේ.

ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත මහනුවර සංචිතයට විදෙස් ක්‍රීඩකයෝ 7 දෙනෙක් ඇතුළත්ව සිටිති. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සහ සිබ්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් ඒ අතර ප්‍රධාත තැනක් ගනිති. කෙසේ වුවත් ‍ඔවුන් දෙදෙනාම තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැති බැවින් ඔවුන්ට තරගාවලියේ මුල් තරග කිහිපය සහභාගී වීමේ අවස්ථාව මඟහැරෙනු ඇත.

ලොව පුරා විස්සයි20 තරග 223 කට ක්‍රීඩා කර ඇති ස්ටේන් එහිදී කඩුලු 257 ක් බිඳහෙළා ඇත්තේ 21.91 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඊට තරගයකදී කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 4 ක්ද ඇතුළත් වේ. විස්සයි20 තරග 162 කදී ශතකයක් සහ අර්ධ ශතක 24 ක් සමග ලකුණු 3537 ක් රැස්කිරීමට ටේලර් සමත්ව ඇති අතර එහි සාමාන්‍යය 26.00 ක් ලෙස සටහන්‍ වේ‍‍. ටේලර්ගේ ලකුණු රැස්කිරීමේ වේගය 122‍.26 ක අගයක් ගනී‍.

ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින වේග පන්දු යවන්නන් දෙ‍දනකු වන ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටේල්ද, ඇෆ්ගනිස්තාන පිතිකරුවන් දෙදෙනකු වන නවීඩ් උල් හක් සහ රහමතුල්ලා ගුර්බාස්ද මහනුවර කණ්ඩායමට ඇතුළත්ව සිටින ‍විදෙස් ක්‍රීඩකයෝ වෙති. කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු විදෙස් ක්‍රීඩකයා වන පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහේල් තන්වීර්ට කොරෝනා වයිරසය ආසාදන වී ඇතැයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වූ අතර මේ වන විට ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න සහ කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස මහනුවර කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ප්‍රධානතම පන්දු යවන්නන් කිහිප දෙනෙක් වන නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණියද මහනුවර කණ්ඩායමට ඇතුළත්ව සිටීම කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය තවත් ශක්තිමත් කරයි.

අසම්මත ඉරියව්වකින් පා දඟ පන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩට අවසන් මොහොතේ මහනුවර කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇති අතර ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ළහිරු සමරකෝන්, නිෂාන් මධුෂ්ක, චාමිකර එදිරිසිංහ සහ ඉෂාන් ජයරත්න එම කණ්ඩායම ඇතුළත්ව සිටින නැඟී එක ක්‍රීඩකයෝ වෙති.

1992 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජකයකු වන හෂාන් තිලකරත්න මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන මහනුවර කණ්ඩයමට 2014 විස්සයි20 ලෝක ශූර කණ්ඩායමේ සාමාජියකු වන නුවන් කුලසේකර මහතාද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස එක්ව සිටියි. මහනුවර කණ්ඩායමේ කලමනාකරු ලෙස කටයුතු කරනු ලබනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ෆර්වීස් මහරුෆ් මහතාය.  

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කිංග්ස් කණ්ඩායම එරෙහිව මහනුවර ටස්කර්ස් කණ්ඩායම මේ මස 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

මහනුවර ටස්කර්ස් සංචිතය
කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතන්, මුනාෆ් පතෙල්, ඩේල් ස්ටේන්, සොහේල් තන්වීර්, නවීඩ් උල් හක්, රහමතුල්ලා ගුර්බාස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, නිෂාන් මධුෂ්ක, චාමිකර එදිරිසිංහ සහ ඉෂාන් ජයරත්න

 


අදහස් (0)

මහනුවර ටස්කර්ස් පිලේ වැඩි බර කුසල්ලාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.