Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ක්‍රීඩකයෝ පළමු ජය ලබති

මහනුවර ක්‍රීඩකයෝ පළමු ජය ලබති

යොහාන් භාසුර - 2020 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රී පැවැති තරගයේදී මහනුවර ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් පළමු ජය ලැබූහ.

ගාල්ල පිල මේ වන විට සහභාගි වූ තරග තුනම පරාජයට පත්වීම කැපී පෙනේ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කය හඹාගිය ගාල්ල පිලට ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක හුදකලා ඉනිමක නිරත වෙමින් පන්දු 53 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය.

හිටපු සුපිරි තරුව, සහිඩ් අෆ්රිඩි පළමු පන්දුවේදීම ලකුණු නොලබා සීකුගේ ප්‍රසන්න හමුවේ දැවීයෑමත් සමඟ ගාල්ල පිල අමාරුවේ වැටුණි.   

භානුක රාජපක්‍ෂ ලකුණු 12 කට දුවද්දී දැවී යෑම ගාල්ල පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් ලබා සිටියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හමුව දැවී ගිය බවට විනිසුරු ලින්ඩන් හැනිබල් තීරණය කළේය. කෙසේ වෙතත් එය පා ඉන්නෙන් පිටත පතිත වූ පන්දුවක් බැවින් විනිසුරු තීරණ නැවත විමසීමෙන් ධනුෂ්කට තවදුරටත් කඩුල්ලේ රැදීසිටීමේ අවස්ථාව ලබාදුන්නේය.  

හෂ්රතුල්ලා ශෂායි (02) සහ අසාම් ඛාන් (13) ලකුණු 24 ක් තුළ දැවී යෑමෙන් ගාල්ල පිලේ ආරම්භය මන්දගාමී විය.

සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් පළමු තරගයට සහභාගි වෙමින් සාර්ථක ඉනිමක් ගොඩනැගීම කැපී පෙනුණි. ටේලර් පන්දු 35 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්විය.  

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් අනගි ඉනිමක් දියත් කරමින් පන්දු 16 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස්කළේය.

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් පහර ෂෝට් මිඩ්විකට්හිදී සහිඩ් අෆ්රිඩි රැකගැනීමත් සමඟ ලකුණු 49 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස්ගේ පන්දු 30 ක ඉනිම හතරේ පහර දෙකකින් සහ හයේ පහර හතරකින් වර්ණවත් විය.

මෙන්ඩිස්ගේ වේගවත් ඉනිමත් සමඟ මහනුවර පිල පළමු ඕවර 10 අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 101 ක් රැස්කර සිටියේය.

මෙන්ඩිස් සහ පෙරේරා ‘කුසල් යුගළ’ දෙවැනි කඩුල්ලලට පන්දු 43 කින් ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙම දැවැන්ත ඉනිමට අඩිතාලම දැමූහ.  

කුසල් පෙරේරා පන්දු 24 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 28 ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් විය.

අකිල ධනංජය යැවූ ඉනිමේ පස්වැනි ඕවරයේ අවසන් පන්දු තුනට කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු 11 ත් සමගින් එම ඕවරයට ලකුණු 17 ක් එකතුව මුළු ලකුණු සංඛ්‍යාව 46 ක් බවට පත්ව ඉනිමට වේගය එන්නත් විය.   

රහමනුල්ලා ගුර්බාෂ් පන්දු 10 කින් ලකුණු 19 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ගාල්ල පිලේ නායක සහිඞ් අෆ්රිඩි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.

ගාල්ල පිලට විදේශ ක්‍රීඩකයන් ලෙස නායක සහිඞ් අෆ්රිඩි, හෂ්රතුල්ලා ශෂායි, අසාම් ඛාන් සහ මොහොමඞ් අමීර් ඇතුළත්ව සිටියහ. මහනුවර පිලට බ්‍රෙන්ඩන් ටේලර්, රහමනුල්ලා ගුර්බාෂ්, නවීඩ් උල් හක්, මුනාෆ් පටෙල් යන විදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ.

තරගාවලියේ පස්වැනි දිනය වන හෙට (01) කොළඹ සහ දඹුල්ල අතර දිනයේ පළමු තරගය පස්වරු 3.30 ට ද, යාපනය සහ මහනුවර අතර දෙවැනි තරගය රාත්‍රී 8.00 ට ද, ආරම්භ වීමට නියමිතය.

 

මහනුවර ටස්කර්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 196
(රහමනුල්ලා ගුර්බාෂ් 19, කුසල් පෙරේරා 27, කුසල් මෙන්ඩිස් 49, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 51, කමිඳු මෙන්ඩිස් 28, අසේල ගුණරත්න 11, මොහොමඩ් අමීර් 31/1, අකිල ධනංජය 43/1, ලක්‍ෂාන් සඳකැන් 41/2, මොහොමඩ් ශිරාෂ් 52/1)

ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 171
(ධනුෂ්ක ගුණතිලක 82, අසාම් ඛාන් 13, භානුක රාජපක්‍ෂ 12, මිලින්ද සිරිවර්ධන 13, ෂෙහාන් ජයසූරිය 17, මොහොමඩ් අමීර් නොදැවී 15, මුනාෆ් පටෙල් 35/1, ඩිල්රුවන් පෙරේරා 26/1, අසේල ගුණරත්න 28/1, සීකුගේ ප්‍රසන්න 12/1, නවීඩ් උල් හක් 33/1)


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.