Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතිවානන් සභාපති පුටුව ඉල්ලන්න යයි

මතිවානන් සභාපති පුටුව ඉල්ලන්න යයි

editorial - 2020 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(සාදි තව්ෆීක්)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ කේ. (කන්ගදරන්) මතිවානන් මහතා කියා සිටින්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වී ඇත්තේ තාවකාලිකව පමණක් බවයි. ලබන වසරේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තමන් සභාපති ධූරය සඳහා තරග වදින බවද මතිවානන් මහතා කියයි.

“මම දැනට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව සිටියත් ලබන වසරේදී මම ක්‍රිකට් සභාපති ධූරයට තරග කරනවා. මම දිගු කලක් ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කරලා තියෙනවා. ඒ නිසා වඩාත් හොඳ පුද්ගලයන් සමඟ වැඩ කිරීමට මා නැවතත් එනවා” යයි මතිවානන් මහතා පැවසීය.

අවසන් වරට පැවැති (2019) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී උප සභාපතිවරයකු ලෙස තේරී පත් වූ මතිවානන් මහතා කියන්නේ  “උප සභාපතිවරයකු වුණත් මට කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ” කියාය. ඒ හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවද මතිවානන් මහතා පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ උප සභාපතිවරුන් දෙදෙනා දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් හැසිරවිය යුතු බවයි. නමුත් මම නිකම් නාම මාත්‍රික උපසභාපතිවරයෙක් වුණා. මට කිසිම වගකීමක් බාර දුන්නේ නෑ. මාව පැත්තකට දැම්මා”

“උප සභාපතිවරුන් දෙදෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ කාර්යාල තියෙනවා. ඒත් 2019 දී මම උප සභාපති ධුරයට පත්වීමෙන් පස්සේ ඔවුන් මගේ කාමරය පවා අගුලු දැම්මා” යයිද මතිවානන් මහතා පැවසීය.

මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මතිවානන් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව විසින් මෑතකදී ඒකමතිකව ගත් තීරණයට පසුව මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම සිදුවී ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් වශයෙන් ඔහුට ඇති අවස්ථාව යොදාගනිමින් මතිවානන් මහතා සදාචාර විරෝධී ක්‍රියාවන්හි යෙදී ඇති බැවින් මෙම පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වේ.
“ඔවුන් කියන සදාචාර විරෝධී ක්‍රියාව තමයි මම මාධ්‍යයට ප්‍රවෘත්ති දුන්නයි කියන එක. ඒත් ඔවුන්ම තමයි ‘ක්‍රිකට් ඒජ්’ නමින් වෙබ් අඩවියක් හරහා මේ ප්‍රවෘත්ති මාධ්‍යයට දෙන්නේ....”
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීම් වෙනුවෙන් මේ වෙබ් අඩවියට මාසයකට රුපියල් 100,000 ක් බැගින් ගෙවනවා. ඒක මාස හයක එකඟතාවක්. ඔවුන් ඉන්දියානු වෙබ් අඩවියක දැන්වීම් පළ කළ යුත්තේ ඇයි” යයි ද මතිවානන් මහතා විමසයි.

වර්තමාන ක්‍රිකට් නිලධාරීන්ගේ අත්තනෝමතික කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මතිවානන් මහතා මෙසේ කියා සිටියේය.

“ඔවුන් මෑතකදී අලුත්ම කොන්දේසියක් ගෙනාවා. ඒ තමයි විධායක කමිටු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය සඳහා යම් යම් තොරතුරු අනාවරණය නොකිරීමේ යෝජනාව”

“මම ඇත්ත වශයෙන්ම එයට විරුද්ධ වූයේ එය ව්‍යවස්ථාවේ නැති හින්දයි. එවැනි දෙයක් බලාත්මක කිරීමට නම් එය ව්‍යවස්ථාවේ තියෙන්න ඕනා. එහෙම නැතුව විධායක කමිටුව හරහා කොන්දේසි ගෙනල්ලා  ඒවා සාමාජිකයන්ට පනවන්න බෑ”

“මම ඉල්ලා අස්වෙන්න හිතුවේ බොහෝ කලකට පෙරයි. ඒත් මට සටන් කිරීමට අවශ්‍ය වුණා....මම කිසිවක් නොකළා නම් මේ කිසිවක් එළියට එන්නේ නෑ...ඒ සියල්ලම යට ගහනවා”

“මම ඇත්ත කතා කරන නිසා තමයි ඔවුන් මා සමඟ තරහ” යයිද මතිවානන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් ඒ සඳහා වන යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශවකරුවන් (සාමාජිකයන්) විසින්ම කළ යුතු බවත් හිටපු උප සභාපතිවරයා පවසයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවකු උනන්දු නොවන බවත් ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා ඉදිරිපත් වන්නන් තමන්ට ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මෙන්ම ක්‍රීඩා සමාජ වලටත් මුදල් පිරිනමන බවත් මතිවානන් මහතා කියයි.

“ක්‍රීඩා ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් නොකළහොත් එය (ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම) කිසි විටෙකත් සිදු වෙන්නේ නෑ... ”

“හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය නොවන්නේ ඇයි කියලා ක්‍රීඩා අමාත්‍යවරයා ඇසිය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එන්නේ නෑ,. ඇවිල්ලා දිනන්න බෑ... මේ තියෙන ක්‍රමවේදය නිසා, ඡන්ද මිලදී ගන්නා තත්ත්වයක් තියෙන නිසා.. එකම මුහුණු නිතරම තේරී පත්වෙනවා” යයිද හිටපු උප සභාපතිවරයා පැවසීය.

මතිවානන් මහතා ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසියේ 2005 දී ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසිනි. එතැන් සිට අතුරු කමිටුවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇති මතිවානන් මහතා අවස්ථා හතකදී උප සභාපතිවරයා ලෙසින් තේරී පත් වී ඇත. වසර 2016 සිට මේ දක්වා එම අවස්ථා හතෙන් අවස්ථා 4 ක් ඇතුළත් වේ.

“මම මගේ සාක්කුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා සමාජ වලට උදව් කරන බව සාමාජිකයන් දන්නවා. මා අවංක බවත් මා කිසි විටෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කර නොමැති බවත් මා කෙරෙහි විශ්වාසයක් තියෙන අය දන්නවා. ඔවුන් මාව දිගටම එම තනතුරට තෝරා ගන්නේ ඒ නිසයි” යයි ක්‍රිකට් පරිපාලනයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති මතිවානන් මහතා පැවසීය.


අදහස් (1)

මතිවානන් සභාපති පුටුව ඉල්ලන්න යයි
  • SK Sunday, 02 August 2020 01:55 AM

    තිලංගගේ පාර්ශවය ඉන්නකම් ක්‍රිකට් හදන්න බැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.