Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකත්වයට

බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකත්වයට

editorial - 2020 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන සතියේ ඇරඹෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ජෝ රූට් ඉවත්වීම හේතුවෙන් උපනායක බෙන් ස්ටෝක්ස් නායකත්වයට පත්කර තිබේ. නිත්‍ය නායක රූට්ගේ බිරිඳ කේරී මෙම සති අන්තයේදී සිය දෙවැනි දරු උපත බලාපොරොත්තුවෙන් සිටිම හේතුවෙන් සදම්ප්ටන්හිදී පැවැත්වෙන ආරම්භක තරගය ඔහුට අහිමී යනු ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් උපනායක බෙන් ස්ටෝක්ස් පළමු වතාවට එංගලන්ත කණ්ඩායමට නායකත්වය දීමට සූදානම් වෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ළමා කාලයේ සිට කිසිම ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දරා නොමැති ස්ටෝක්ස් පළමු වරට ටෙස්ට් තරගයක නායකත්වය දැරීමට සූදානම් වීමයි.

තරගමාලාවේ සෞඛ්‍ය නියමයන් යටතේ රූට් සිය පවුලේ අය සමඟ රෝහලෙන් පිටව ගිය පසු දින හතක ස්වයං නිරෝධායන කාලයක් ආරම්භ කරනු ඇත. එය කොරෝනා වයිරස් ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා පනවා ඇති නීතියකි.

“මම හිතනවා ඔහු රාජකාරිය හොඳින්ම ඉටුකරයි කියලා. ඔහු පලිහක් වගේ. හැම වෙලාවකදීම ඔහු ඉදිරියෙන් සිටිනවා” යැයි එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතා දුරකථන සංවාදයකදී පැවසීය.

“ඔහු අවට සිටින අය ගැන ද දැනුවත්. ඒකනිසා මම හිතනවා රූට් නොමැති විට ඔහු විශාල වැඩ කොටසක් කරයි කියලා.... පළමු වතාවට ඔහු එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදෙන නිසා ඔහු කරන්නේ කුමක්ද යන්න බැලීම සිත්ගන්නා සුළු වේවි”  යැයි එංගලන්තයේ හිටපු වේග පන්දු යවන්නකු වන සිල්වර්වුඞ් මහතා පැවසීය.

“අපි දන්නවා ඔහු ආක්‍රමණශීලී ස්වභාවයක් ඇති ක්‍රීඩකයකු බව. නමුත් ඒ හා සමානව හොඳ ක්‍රිකට් මොළයක් ඔහුට තිබෙනවා”

කෙසේ වෙතත් ජූලි 16 වැනිදා මැන්චෙස්ටර්හි, ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා රූට් නැවත පැමිණේ යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටී.

කොදෙව් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගය ජෝ රූට්ට මග හැරෙනු ඇත. සදම්ප්ටන්හිදී එංගලන්ත සංචිතයේම සිටින ක්‍රීඩකයන් අතර දින තුනක පුහුණු තරගයක් අද (1 වැනිදා) ආරම්භ වෙයි. ඒ සඳහා ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහ ජොස් බට්ලර් විසින් නායකත්වය ලබාදෙන කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇත. එයින් ඇඟවෙන්නේ ජොනී බෙයාර්ස්ටෝ හෝ බෙන් ෆෝක්ස් වෙනුවට ජොස් බට්ලර් ලබන සතියේ ආරම්භවන තරගයේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා වනු ඇති බවයි.

මෙම පුහුණු තරගය සඳහා 30 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයේ සාමාජිකයින් 27 දෙනෙකු සහභාගී වන අතර, තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් පන්දු යවන්නන් වන ජැමී ඕවර්ටන් සහ අමර් රිදී දෙදෙනාත් ක්‍රීඩා නොකරනු ඇත.

කෙසේ වෙතත් ටෙස්ට් සංචිතය නම් කිරීමේදී පළමු පිතිකරුවන් හතර දෙනා, පළමු දඟ පන්දු යවන්නා සහ වේග පන්දු යැවීමේ සංයුතිය ඇතුළත් තවමත් පැහැදිලි කර ගත යුතු තේරීම් ගැටළු කිහිපයක් ඔවුන්ට තිබේ.  ජාතික තේරීම් කමිටු නිලධාරී එඞ්වඞ් ස්මිත් මහතා විසින් එංගලන්ත සංචිතය සෙනසුරාදා ප්‍රකාශයට පත් කරනු ලබනු ඇත.
 
- 2079

 


අදහස් (0)

බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.